අමෙරිකාව සහ මාලදිවයින ගිවිසුමකට අත්සන් තබයි

ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අමෙරිකාව සහ මාලදිවයින ගිවිසුමකට අත්සන් තබයි

by Staff writer 13-09-2020 | 9:48 PM

COLOMBO (News 1st) - ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය, මාලදිවයින සමග ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ, ඉකුත් 10 වැනි දායි. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා දෙරටේ මැදිහත්වීම සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණෙන් මෙම ගිවිසුම අත්සන් කර ඇත. මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය සහ දකුණු ගිනිකොණදිග ආසියානු කලාපයේ ආරක්ෂාව පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම්වරයා අත්සන් තබා ඇති අදාළ ගිවිසුමේ ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් අන්තර්ගත කර ඇතැයි මාලදිවයින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඉහළ නිලධරීන් අතර පැවැත්වෙන සංවාද, සාකච්ඡා, සමුද්‍ර ආරක්ෂාව, ස්වාභාවික විපත් සහ මානුෂීය සහන මෙහෙයුම් වැනි ක්ෂේත්‍ර කිහිපයක් අදාළ ගිවිසුමට ඇතුළත් බව සඳහන් ය. 2007 වසරේදී අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග ද ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළ අතර එය ඇක්සා නමින් හැඳින් විය. 2017 වසරේදී පිටු 83 කින් සමන්විතව අදාළ ගිවිසුම අලුත් කෙරුණේ එහි අන්තර්ගතය මහජනතාවට හෙළි නොකෙරනු පසුබිමකදීය. ගිවිසුමෙන් ඒකාබද්ධ අභ්‍යාස අතරතුර භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සැලසීම, පුහුණුවීම්, මෙහෙයුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම ඇතුළු කටයුතු රැසකට එකඟතාව පළ කර තිබූ බව සඳහන් ය. මේ අතර අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සෝෆා නමින් හැඳින්වෙන ගිවිසුමකට ද අත්සන් තැබීමට සුදානම් වන බවට ද මත විය. එක්සත් ජනපද භටයින්ට ඉන් ඕනෑම අවස්ථාවක රට තුළට ඇතුළු වීමට ඉඩ සැලසෙන බවට ද වාර්තා විණි. එවැනි පසුබිමක එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග එම්. සී. සී ගිවිසුම අත්සන් තැබීමට උත්සාහ දරමින් සිටිනුයේ ඉඩම් පරිපාලනය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දෙන බව පවසමිනි.