ගුලවිට ලෙන ආශ්‍රිත ගල් කොරියේ බලපත්‍රය අත්හිටුවයි

Update: කළුතර, ගුලවිට ලෙන ආශ්‍රිත ගල් කොරියේ බලපත්‍රය අත්හිටුවයි

by Staff writer 12-09-2020 | 10:45 AM

COLOMBO ( News 1st ) : කළුතර, වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික මානව සාධක සහිත ගල්ලෙන ආශ්‍රිතව අවසර ලබාදී තිබූ ගල් කොරියේ බලපත්‍රය අත්හිටුවා තිබේ.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන්.පී පෙරේරා මහතා සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත එය අවලංගු කළ බවයි. ප්‍රදේශීය ලේකම්වරයා පැවසුවේ මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව අවසර ලබා දුන් තවත් ගල් කොරියක් පවතින බවයි. එහි කටයුතු ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත නතර කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් මෙම ගල්ලෙන ආශ්‍රිතව මූලික විමර්ශනයක් කළ අතර ඔහු පැවසුවේ පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගල්ලෙනට සමාන සාධක මෙම ගුහාවෙන් ද සොයාගත හැකිවනු ඇති බවයි. ඒ ආශ්‍රිතව ඇති ගල් කොරි තහනම් කිරීමේ අවශ්‍යතාව ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය.