"කොයි වැරදිකාරයාටත් අත්වෙන්නේ එකම ඉරණමයි"

වර්ජනයේ ඉන්න සිරකරුවෝ තමයි ලොකුම අපරාධකාරයෝ - ආරක්ෂක ලේකම්

by Staff writer 12-09-2020 | 7:49 PM

COLOMBO (News 1st) - අපරාධ සහ වැරදි සිදුකරන සැමට එරෙහිව එකසේ නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමට පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය භාවිත කළ හැකිදැයි පරීක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයා අද බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙලෙස අදහස් දැක්විය. මාධ්‍යවේදියා - යම්කිසි සිරකරුවන් පිරිසක් මේ වනවිට ආහාර වර්ජනයක නිරත වෙනවා ඔවුන්ගේ ඉල්ලීම් වගයක් දිනා ගන්න? විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා - "ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න සිරකරුවෝ ටික තමයි මේ රටේ ලොකුම අපරාධකාරයෝ ටික. ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න පුළුවන්, ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම්, අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්නේ නැතුව ඇතුලට ගන්න කියලා ඉල්ලීමක් තියනවා, ඒ අයට වැඩක් නෑ ඒක. මම බූස්ස බන්ධනාගාරය ඇතුලට යනවා නම් මාවත් චෙක් කරන්න කියලා මම බන්ධනාගාර නිලධාරී මහත්වරුන්ට කියලා තියනවා නම් , මම ආරක්ෂක ලේකම්, මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් නොකර ඉන්න හේතුවක් නෑ. ඒක ඇවිල්ලා අධි ආරක්ෂිත හිර ගෙදර. ඒකට යන ඕනම කෙනෙක්ව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පවා එතනදි චෙක් කරලා තමයි ඇතුලට ගන්නේ. උපවාසය ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි, අපේ රටේ ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට, බඩගින්න වැඩි වෙනකොට, මොකක්හරි හේතුවක් අරගෙන කවුරුහරි දෙන ෆෘට් ජූස් එකක් අරන් , තැඹිලි වතුර වීදුරුවක් බීලා නැගිටිනවා. මෙතනත් ඒ වගේ තමයි. තාම කිහිපදෙනෙක් ඉන්නවා නෑ අපි කන්නේ නෑ කියලා. හෙට අනිද්දා වෙනකොට ඒ අය කයි. ඒක ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. වැරදි කරන මිනිහාගේ තත්ත්වය තරාතිරම අපිට අවශ්‍ය නෑ. වැරැද්දක් කරනවා නම් අපි ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඒකයි පොලිස් දෙපාර්තමේන්තුවේ පවා අපි අත්අඩංගුවට ගත්තේ, හමුදාවල පවා අපි අත්අඩංගුවට ගත්තේ. බන්ධනාගාර නිලධාරීන් පවා අත්අඩංගුවට ගත්තේ. පිට ඉන්න වැරදිකාරයෝ අල්ලන්න ඉස්සෙල්ලා අපි ඇතුල සුද්ධ කරගන්න ඕනේ. අපි හොරකම් කරනවා නම් අපි නම් කුඩු විකුනන්නේ , අපි නම් කුඩු මුදලාලිලා, අපි නම් අපරාධ මෙහෙය වන්නේ, ඒකේ ලොකු වැරැද්දක් තියනවා. ඒ නිසා ඇතුල සුද්ධ කිරීම අත්‍යාවශ්‍යයි. වැරැද්ද කරනවා නම් කොයි වැරදි කාරයාටත් අත් වෙන්නේ එකම ඉරණමයි."   https://www.facebook.com/NewsfirstSL/videos/651837475752070/