COLOMBO ( News 1st ) : හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිත කොටසේ මහා පරිමාණයෙන් කැළෑ එළිපෙහෙළි කිරීමක් සිදු වන බව වාර්තාවේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ, පිටස්තර පුද්ගලයින් අනවසර වගා සඳහා මෙම භූමිය යොදාගන්නා බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම වැළැක්වීමේ අරමුණින් 2009 වසරේදී යෝජිත වන අලි කළමනාකරණයට භූමි ප්‍රදේශයක් වෙන් කෙරිණි.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් පවසන්නේ, කාලාන්තරයක සිට එහි කැලෑ ඉඩම් එළිපෙහෙළි කර අල්ලා ගැනීම සිදුවන බවයි.
ප්‍රදේශවාසීන් අදහස්
ගමේ නෙමෙයි ගමෙන් පිට අය ඇවිල්ලා ඔක්කොම ඩෝසර් කරලා වගා කරනවා . අපි පොල් පැල ටික හිටවන්න ගත්තා හැබැයි අනවසරයි කියලා හිටවන්න එපා කිව්වා.
වනජීවි එකෙන්වත් වන සංරක්ෂනයෙන්වත් කිසිම සෙවිල්ලක් නැහැ. මැති ඇමතිවරුන්ගේ හෙංචයියෝ තමයි ඕක කරන්නේ ගමේ මනුස්සයෙක් කලොත් දඩ ගහනවා.
රජය සතු ඉඩම් අනවසරයෙන් ලබාගැනීමට විවිධ පිරිස් දරණ උත්සාහයන් ගැන හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීත් පසුගියදා සාකච්ඡා කළේ ය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
දිගට වගා කරපු ඉඩම්වල අයිතිය ඒ ගොවීන්ට දෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ සැලසුම් සහගතව කණ්ඩායමක් මේවා ගිහින් අල්ලනවා සමහර ඒවා ඩෝසර් දානවා. ඒක නිසා ඒ ගැන සැළකිලිමත් වෙන්න. ඔබතුමාලගේ නිලධාරීන් මට ෆොටෝස් එව්වා මේ මහ ගසුත් කපලා අපිවත් මුලා කරනවනේ.
මෙම සාකච්ඡාවේදී හම්බන්තොට දේශපාලන නියෝජිතයින් අවධාරණය කලේ කාලාන්තරයක සිට වගා කටයතු වල නිරත වූ ගොවීන්ට එම ඉඩම් නිදහස් කළ යුතු බවයි.
තත්ත්වය එසේ තිබියදී හම්බන්තොට වලව වම් ඉවුර කලාපයේ මහවැලියට අයත් ඉඩම්වල කෙසෙල් වගාවක් ඉවත් කිරීමට අද නිලධාරීහු පියවර ගත් හ.
ඒ අනවසරයෙන් සිදුකරන බව කියන මේ වගාව තිබූ ඉඩම වෙනත් ආයෝජකයින්ට ඉඩම් ලබාදීමට ඇති සූදානම නිසයි.
අක්කර 2 ක පමණ භූමියක ප්‍රදේශයේ තරුණ ගොවියෙකු විසින් කෙසෙල් වගා කර තිබේ.
කෙසෙල් වගා කළ පුද්ගලයාගේ අදහස්
මම මෙච්චර කාලයක් රට හිටියේ කොරෝනා නිසා ඒ කාලේ ලංකාවට එන්න වුණේ. ඒ ඉතුරු කරපු මුදලින් තමයි වගා කරලා ජීවිතේ ඉදිරියට ගෙනියන්න කටයුතු කළේ මේ වෙනකොට මාස 4ක් වෙනවා . මං ලක්ෂ 20ක් විතර වියදම් කරලා තියෙනවා.
මහවැලි කලාප නිලධාරියා
මේක ආයෝජන මණ්ඩලයට වෙන්කරපු ඉඩම් දැන් හෙට අනිද්දා වෙනකොට නව රජයත් එක්ක ආයෝජකයෝ එනවා . ඉතින් ආයෝජකයන්ට අපි මේවා නිදහසේ තියන්න ඕනේ . ඉතින් මේක අල්ල ගත්තහම අපි එන ආයෝජකයන්ට මොකද කියන්නේ ? මේ මහවැලි ඉඩම්.
හේන් ගොවියා
අපි දැන් මහවැලියට ලියුමක් දුන්නා අපි වගාව කරන් මේ භූමිවලින් අයින් වෙනවා කියලා.
මහවැලි කලාප නිලධාරියා
ඔබතුමා හිතන්නකෝ මාසයකින් මේකට ආයෝජකයෝ එනවා කියලා කොහොමද දෙන්නේ ? අද කෙහෙල් වගාවක් තියෙනවා. කියලා අපිට කියන්න බැහැනේ.
හේන් ගොවියා
අපි චමල් මහත්යට ලියුම් භාර දීලා ඉවරයි. ඔයගොල්ලොත් මාර කතා කියන්නේ. දැන් එහෙනම් කුඹුරුත් ආයෝජකයන්ට දෙන්නකෝ.ගිහින් උඩ බලන් හිටහන් දැන්.ඔයගොල්ලෝ මේක චීන්නුන්ට දෙනකොට කව්රුත් ගියාද ? අපි ගියේ මැරුන් කන්න. ඉතින් ගෝඨාභය සර්ට කියන්නකෝ වගා කරන්න කියලා . ආයෝජන කලාපයක් ආවොත් අපි මේවා ඩෝසර් කරන් යන්නම්.