පොලිස් දෙපාර්තමේන්තුවෙන් දිරි ගැන්වීමක්

පොලිස් නිලධාරීන් හා පුද්ගලික ඔත්තුකරුවන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දිරි ගැන්වීමක්

by Staff writer 11-09-2020 | 4:46 PM

COLOMBO ( News 1st ) : නීති විරෝධී අවි ආයුධ වැටලීම් සිදු කරනු ලබන පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට ලබාදෙන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව T 56 ගිනි අවියක් සමග සැකකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුවෙකුට සහ පොලිස් නිලධාරියෙකුට ලබාදෙන මුදල රුපියල් 250,000 දක්වා ඉහළ නැංවෙනු ඇති. T 56 ගිනි අවියක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිළධාරියෙකුට ගෙවන මුදල රුපියල් 200,000. රුපියල් 250,000 ත්‍යාග මුදලක් පුද්ගලික ඔත්තුකරුවෙකුට ඒ සඳහා ලබාදෙනු ඇති. සැකකරුවෙකු සමග රිපීටර් වර්ගයේ ගිනි අවියක් පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් 50,000 මුදලක් ලබාදෙන බව පොලීසිය සඳහන් කළේ ය. එම වර්ගයේම ගිනි අවියක් සැකකරුවෙකු නොමැතිව සොයා ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයකුට රුපියල් 25,000 මුදලක් හිමිවේ. පිස්තෝල, රිවෝල්වර සහ විදේශයන්හි නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවි සමග සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබාදෙන පොලිස් නිලධාරියෙකුට හිමිවන මුදල රුපියල් 150,000 ය. පිස්තෝල සහ රිවෝල්වර සැකකරුවෙකු නොමැතිව සොයා ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුවෙකු රුපියල් 250,000 මුදලක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.