තෙල් නැවේ  සමාගමට දැනුම්දීමක්

නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගන්නැයි අදාළ සමාගමට දැනුම්දීමට පියවර

by Staff writer 10-09-2020 | 8:46 PM

COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගන්නැයි අදාළ සමාගම වෙත දැනුම් දීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතිඥ දර්ශනී ලහන්දපුර මහත්මිය සඳහන් කළේ, මෙරට වෙරළ තීරයට හානී වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් අනුව එම ක්‍රියාමාර්ග ගන්නා බවය. මේ අතර ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදු කලාපයෙන් ලබා ගත් ජල හා තෙල් සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. දර්ශනී ලහන්දපුර මහත්මිය පැවසුවේ, අදාළ ජල සාම්පල සහ තෙල් සාම්පල පිළිබඳ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබා දෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවය. එම වාර්තාව සහ සෙසු ආයතන මගින් ලබා ගන්නා වාර්තාවලින් සමන්විත සම්පුර්ණ වාර්තාවක් ලබන සඳුදා නීතිපතිවරයා වෙත ලබා දීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය. මේ අතර, ගිනි ගැනීමට ලක් වූ MT NEW DIAMOND නෞකාවට ගලවා ගැනීමේ කණ්ඩායමේ විදේශිය විශේෂඥයින් 17 දෙනෙකු අද පෙරවරුවේ ඇතුළු විය. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, එම කටයුතු අධීක්ෂණයට නාවික හමුදාවේ සෙවීම් අංශයේ සාමාජිකයින් 4 දෙනෙකු ද නෞකාවට ඇතුළු වූ බවයි. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට දිවයිනේ සිට නාවික සැතැපුම් 50 එපිට මුහුදු සීමාවක රඳවාගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.