නිව් ඩයමන්ඩ් නැවට සිංගප්පූරු නිලධාරීන් පිරිසක්

නිව් ඩයමන්ඩ් නැවේ පිරුණු වතුර ඉවත් කිරීම ගැන සොයන්න සිංගප්පූරු නිලධාරීන් පිරිසක්

by Staff writer 10-09-2020 | 7:56 AM

COLOMBO (News 1st) - MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ පිරී තිබෙන ජලය ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ සිට ටග් යාත්‍රාවක් අද නිලධාරීන් කණ්ඩායමක් සමග පැමිණෙන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ එම නෞකාවේ එංජින් කාමරයේ සහ පොම්පාගාරයේ පිරී ඇති ජලය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව පැමිණෙන නිලධාරී කණ්ඩායම විසින් සොයා බලන බවයි. නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ඉසින ලද ජලය නෞකාවේ පිරී තිබේ. මේ අතර ත්‍රීකුණාමළයේ සිට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් වේග ප්‍රහාරක යාත්‍රාවකින් ඊයේ පස්වරුවේ නෞකාව ආසන්නයට ගිය බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, එම කණ්ඩායමට ගිනි නීවීම් හා අලාභ තක්සේරු නිලධාරීන් කණ්ඩායමක් ද ඇතුළත් බවයි. ඔවුන් ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සමග එක්ව අද දිනයේ නෞකාවට ගොඩවීමට නියමිතය. නෞකාවේ තෙල් කාන්දුව සිදුවන ස්ථානය සොයාබැලීම සහ සම්පූර්ණයෙන් නෞකාවේ පතුල පරික්ෂා කිරීම නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් සිදු කරනු ලැබ ඇත. මේ අතර ගිනි ගැනීමට ලක්වූ MT NEW DIAMOND නෞකාවට ගලවා ගැනීමේ කණ්ඩායමේ විදේශීය විශේෂඥයින් තිදෙනෙකු ඊයේ ඇතුළු විය. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ නෞකාව තවදුරටත් ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන ගිය බවයි. ඒ අනුව ,නෞකාව මේ වනවිට දිවයිනේ සිට නාවික සැතැපුම් 40 ත් 41 අතර මුහුදු සීමාවක රඳවාගෙන සිටියි.