රැයක් වැස්සොත් වතුරෙන් යටවෙන කොළඹ

රැයක් වැස්සොත් වතුරෙන් යටවෙන කොළඹ

by Staff writer 09-09-2020 | 7:24 PM

COLOMBO (News 1st) - අද උදෑසන 8.30 ට අවසන් වූ අවසන් පැය 24 කොළඹට ලැබුණු වර්ෂාව මිලිමීටර් 150 කි.

උදේ 8.30 න් අවසන්වූ පැය 24 ක් කාලය තුළ කොළඹට මිලිමීටර් 150 ක්, කොළඹ කොටුවට හා රත්මලානට මිලිමීටර් 141 බැගින් වැසි ලැබී තිබුණි. වැල්ලම්පිටිය, වෙන්නවත්ත, තුන්වන පටුමගේ පිහිටි මේ නිවස සමග තව ත් නිවාස 100 ක් පමණ අද උදෑසන වනවිට ජලයෙන් යටවී තිබුණි. අංගොඩ, ගොතටුව මෙන්ම දෙමටගොඩ යන ප්‍රදේශවල තත්ත්වයත් ඊට දෙවෙනි වූයේ නැත. දෙමටගොඩ, වේළුවන විද්‍යාලයේ දරුවන් අද ආපසු හරවා යැවීමට සිදු විය. බොරැල්ල, වනාතමුල්ල හල්ගහ කුඹුර ප්‍රදේශයේද නිවාස ගනණාවක් ජලයෙන් යටවීම නිසා ඒවායේ පදිංචිකරුවන් වනාතමුල්ල ප්‍රජාශාලාවට රැස්වී සිටියහ. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල හා අවට මාර්ග ගස් කඩා වැටීම හා ජලය එක්රැස්වීම නිසා අවහිරවී තිබුණි. ග්‍රෑන්ඩ්පාස් , ආමර්වීදිය ඇතුළු කොළඹට ඇතුළුවන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා උදෑසන දැඩි රථවාහන තදබදයක් ද ඇති විය. කොළඔ - කඩුවෙල පරණ මාර්ගය ද ජලයෙන් යට විය. වැසි සහිත කාලගුණය හේතුවෙන් තුම්මුල්ල හා කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග තදබදයක් පැවතිණි. දෙහිවල නගර අසළ ප්‍රදේශවලත් පැවතියේ එවැනිම තත්ත්වයකි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 5507 ක් බලපෑමට ලක්ව තිබේ. එලෙස බලපෑමට ලක්ව ඇත්තේ, තිඹිරිගස්යාය, කොළොන්නාව, ජයවර්ධනපුර, මොරටුව, කොළඹ , කඩුවෙල, සීතාවක සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 5507 කි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා සඳහන් කළේ, ජයවර්ධන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 285 ක් ආරක්ෂිත ස්ථාන 2 ක රඳවා ඇති බවය. එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් මේ වනවිට සලසා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. අධික වැසි හේතුවෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 137 කට අර්ධ හානි සිදුව ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. මේ වනවිට කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. වරාය නගර ව්‍යාපෘතිය, නව කැලණි පාලම හා වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය, පෑලියගොඩ බහුකාර්යය වෙළෙඳ සංකීර්ණය එවැනි ව්‍යාපෘති කිහිපයකි. මීට අමතරව කොළඹ ජල ගැලීම් පාලනය කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන අතර නව මුතුවැල්ල හා තුංමුල්ල, බම්බලපිටිය ආශ්‍රිත භූගත ජලඅපවහන පද්ධතියද මේ වනවිට ඉදිවෙමින් පවති. මාර්ග කිහිපයක ද අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතරවාරයේ බොහෝ ස්ථාන ජලයෙන් යටවුනේ ජලය බැසයන මාර්ග බොහෝමයක් අවහිරවීම නිසාය. මීට පෙර අවස්ථා ගණනාවකදී කොළඹ නගරයේ වැසි ජලය හා ගංවතුර පාලනයට යැයි කියමින් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක විණි. එසේ තිබියදී තවමත් නගරය හා අවට ප්‍රදේශ පැය කිහිපයක වර්ෂාවකින් ජලයෙන් යට වනු ඇත.