මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙනකොට මම අබ්බගාත ලෙඩෙක්; මම කුණු වලින් ජීවිතය දින්නා..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙනකොට මම අබ්බගාත ලෙඩෙක්; මම කුණු වලින් ජීවිතය දින්නා..

කර්තෘ Staff writer

09 Sep, 2020 | 10:47 am

COLOMBO (News 1st): වී.ජේ නිලුපුලී ඉදිකැටිය මහත්මිය ශ්‍රී ලංකාවේ ජීවත්වන සෑම කාන්තාවකටම ආදර්ශයක් විය හැකි දිරිය මවක්. කලක් අංශභාග රෝගයෙන් පීඩා විඳි ඇය මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිදුවීමත් සමග සිය ජීවිතයේ නව පරිච්ජේදයකට පිවිසෙනවා. ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කරමින් ඇය විවිධ නිර්මාණ කිරීම ආරම්භ කරනු ලබන අතර දිවයින පුරා විවිධ නගරවලට යමින් එම නිර්මාණ අලෙවි කිරීම සඳහා ඇය දැඩි පරිශ්‍රමයකින් ක්‍රියා කරනවා.

“මම අංශභාග රෝගියෙක්. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණ දවසේ මම හිතුවා කුණු කන්දකට මිනිස්සු මරන්න පුළුවන්නම් ඇයි මට ජීවත් වෙන්න බැරි කියලා. අවුරුදු එකහමාරක් මම ජීවත් වුණේ අතට අහුවෙන ප්ලාස්ටික්, පොලිතීන්, සිලිමලු, දැල් උරවලින් විවිධ නිර්මාණ කරලා ගාල්ල, මාතර, මීගමුව වගේ දුර ප්‍රදේශවලට අරන් ගිහින් ප්‍රදර්ශන තියලා විකුණලා. මට චූටි දුවෙක් ඉන්නවා අවුරුදු 10 යි. මම මගේ දෝණි වෙනුවෙන් තමයි මරමුවට ගිහිල්ලා.. අද ජීවත් වෙන්නේ.” ඒ ඇයගේ හඬයි.

මහනුවර මහ නගර සභාවේ නිලධාරියෙකු විසින් ඇයගේ දක්ෂතාවය වටහාගෙන ඇයව අත්කම් නිර්මාණ උපදේශිකාවක් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ක්‍රියා කර ඇති අතර ඇය මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවන් ගණනාවකට සිය හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම සදහා උපදෙස් ලබා දෙන්නීය.

NDB බැංකුව සහ සිරස News 1st එක්ව ඉදිරිපත් කරන “වනිතාභිමානී” කාන්තා හැකියා සංවර්ධන වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් සම්මාන ප්‍රධාන උත්සවයේ පළමු ස්ථානය මෙවර නිලුපුලී ඉදිකැටිය මහත්මියට හිමිවී තිබේ. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිරිය කාන්තාවන් ඇගයීම සඳහා “වනිතාභිමාන” වැඩසටහන අඛණ්ඩව දියත් කිරීමට NDB බැංකුව සහ News 1st සූදානමින් පසුවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]