New Diamond ගින්න සාර්ථක මට්ටමකට පාලනය වෙලා

New Diamond ගින්න සාර්ථක මට්ටමකට පාලනය වෙලා - නාවික හමුදාව

by Staff writer 08-09-2020 | 7:53 PM

COLOMBO (News 1st) – New Diamond නැමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ යළි ඇති වූ ගින්න මේ වනවිට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට සමත් වී ඇතැයි නාවික හමුදාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් ගින්න මැඩැපැවැත්වීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. මේ අතර නෞකාවට කිලෝමීටරයක් පමණ දුරින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර තිබේ. නෞකාවේ ගින්න හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ගිය පරීක්ෂණ කණ්ඩායම ජල නියැදි ලබාගෙන තිබේ. මේ අතර නාරා ආයතනයට අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් අද එම මුහුදු ප්‍රදේශය වෙත ළඟා වී වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය. New Diamond නෞකාවේ හටගත් ගින්න පෙරේදා පස්වරුව වනවිට මැඩපැවත්වුවද ඊයේ දහවල් වනවිට නැව අභ්‍යන්තරයේ වරින්වර ගිනි ගැනීම් ඇති විය. ඊයේ පස්වරුවේ නාවික හමුදාව නිවේදනය කළේ, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න යළි ඇති වූ බවයි. ඒ අනුව යළිත් ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. ගුවන් හමුදාව ප්‍රකාශ කළේ, අද උදෑසන යළි ගින්න පාලනය කර ගැනීමට හැකි වුවද වරින් වර ගිනි ගැනීම් ඇති වූ බවයි. නෞකාව මේ වනවිට පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 28 ක් දුරින් ය. මේ අතර MT New Diamond නැමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු අද හම්බන්තොට වරායට රැගෙන ආවේ ය. ගලවා ගැනීමෙන් අනතුරුව ඔවුන් නාවික හමුදාවේ සිදුරළ නෞකාවේ රඳවා සිටියේ ය. මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද නීතීපති දෙපාර්තමේන්තුවේදී පැවැත්විය. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය
මීපා එක නීතිපතිට දැනුම් දුන්නා රක්ෂණ සමාගමට ලිඛිතව දැනුම් දුන්නා . නැව ඉවත්කර ගැනීම ඇතුළු කරුණු 03 ක් පිළිබඳව නමුත් ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා නීතිපතිගේ අවදානය යොමු වුණා. නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කළමනාකරු අශ්විනි කාරියවසම් මහතා
සමුද්‍ර දූෂණ වැළැක්වීමේ නීති රාමුව ඇතුළේ තමයි අපි කටයුතු කරන්නේ . ඒ පනතේ වළක්වා ගැනීමත් සිදුවුණාට පස්සේ ගන්නා ඕන ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් නීතීමය ප්‍රතිපාදන පැහැදිලිව තියනවා . අපි ඒ අනුව කටයුතු කරමින් ඉන්නවා නීතීපති දෙපාර්තමේන්තුව සමග .
නෞකාවෙන් හදිසි තෙල් විසිරීමක් සිදුවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසි තත්ත්ව කළමනාකරණ කණ්ඩායම ද අද කොළඹදී රැස්විය.