COLOMBO (News 1st) : ජාතික තවුහීද් ජමාත් සංවිධානයට හෝ එහි නායක සහරාන් හසීම්ට සෘජුව ISIS ත්‍රස්තයින් සමග සබඳතා නොතිබූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හකීම් මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය පිටුපස රට අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ අදිසි බලවේගයක් තිබූ බවයි.
අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ සවස 6.00 ට පමණ පැමිණි රවුෆ් හකීම් මහතා පැය 3 කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නේ ය.
ඔහු කියා සිටියේ 2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ISIS ත්‍රස්තයින්ගේ නම භාවිත කිරීම හරහා ඒ පිටුපස සිටි අදිසි බලවේගයේ අරමුණු ඉටුවූ බව ය.
සහරාන් ඇතුළු කණ්ඩායම මෙම අදිසි බලවේගය විසින් ඉත්තන් ලෙස භාවිත කළ කුලියට ගත් අන්තවාදීන් පිරිසක් බව ද හකීම් මහතා පෙන්වා දුන්නේ ය.
මෙය එක්වරක් පමණක් සිදුවීමට තිබූ ප්‍රහාරයක් බවත් එය නැවත ඇතිවීමේ අවස්ථාවක් නොමැති බවත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය.
එහිදී ජනාධිපති කොමිසම මෙම අදිසි බලවේගය කවුරුන්දැයි සාක්ෂිකරුගෙන් විමසුවේ ය.
ඊට පිළිතුරු දුන් මුස්ලිම් කොංග්‍රසයේ නායකයා පැවසුවේ, මාධ්‍ය නොමැති අවස්ථාවක එය ප්‍රකාශ කිරීමට සූදානම් බවයි.
මේ අතර මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා ඊයේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව කියා සිටියේ ඉන්දියාවට පලාගොස් ඇතැයි කියන අප්‍රේල් 21 ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන සාරා නැමැති කාන්තාව ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත් යුතු බවයි.
පුල්ස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා කටුවාපිටිය බෝම්බකරු හස්තුන් නමැත්තාගේ බිරිඳලෙස සැළකේ.
ඇය ඉන්දියාවට පලාගොස් ඇතැයි සැක කළ හැකි බව මීට පෙර ජනාධිපති කොමිසමට අනුබද්ධ අපරාධ විමර්ශන නිලධාරියෙකුගේ සාක්ෂියකින් ප්‍රකාශ විය.
කොමිසම හමුවේ පසුගිය ජුලි 23වැනිදා ලබාදුන් සාක්ෂියකින් හෙළි වූයේ සාරා ඉන්දීය බුද්ධි අංශයට තොරතුරු ලබාදුන් බවට සැක කළ හැකි තොරතුරු ඇති බවය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා
මේ මෙහෙයුමේ හිටපු කාන්තාවක් අද වෙනකොට මේ රටින් පිටුවහල් වෙලා කියලා මාධ්‍යවල පළ වුණා. විශේෂයෙන්ම සාරා කියන ඒ කාන්තාව. ඉතින් එයාව ගෙන්න ගත්තා නම් මේකේ සියලු සුළ මුල කවුද මේක පිටිපස්සේ හිටියේ මොන පරමාර්ථයෙන්ද මේක කළේ , මේක කාගේ උවමනාවට වෙච්ච දෙයක්ද? කියන සියලු දෙවල් හොයාගන්න පුළුවන්. දැන් ඒ කාන්තාව පිටුවහල් කරන්න උදව් කරයි කියන පොලිස් නිලධාරියත් දැන් පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. දැන් තියෙන්නේ වහාම ඉන්දියන් ආණ්ඩුවට කියලා ඉන්දියාවේ ඉන්නවා නම් එයාව ලංකාවට ගෙන්න ගෙන එයාගෙන් සුළ මුල දැනගන්න පුළුවන් .
අප්‍රේල් 21 ප්‍රහාරය සිදු වූ කාලසීමාවේ අම්පාර, සයින්ද මර්දු ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමට අදාළව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට පුලස්තිනී රාජෙන්ද්‍රන් හෙවත් සාරාගේ මව ඊයේ පෙනී සිටියා ය.
එහිදී මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, සාරාගේ මවගේ සාම්පල් ලබාගෙන සාරාගේ DNA පරීක්ෂණ වාර්තාවක් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
සාරාගේ මව කොළඹට රැගෙන ගොස් පරීක්ෂණය සිදුකරන ලෙස ද අධිකරණය නියෝග කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, අධිකරණ නියෝගය අනුව අදාළ පරීක්ෂණය අද සිදුවන බවයි.
මේ අතර ආණ්ඩු පක්ෂය පවසන්නේ, රවුෆ් හකීම් මහතා පවසන ආකාරයට අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස සිටින අදිසි බලවේගය වහා හෙළි කළ යුතු බවයි.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
හකීම් ඇමතිතුමා එහෙම කිව්වා නම් ඒ අදෘශ්‍යමාන බලවේගය ඉදිරියට ගේන්න ඕනේ. මං දන්නවා නීතියේ හැටියට සාක්ෂි සැඟවීමක් ලොකු වරදක්. ඉතින් එතුමා ගාව ඒ වාගේ දේවල් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් කම්ෂන් සභාවට ගිහිල්ලා. බොහොම පාරිශුද්ධ ලෙස.