by Staff writer 08-09-2020 | 3:47 PM
COLOMBO (News 1st): බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'පොඩි ලැසී' නැමැත්තා ලබන 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ, බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසි නැමැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසය.
ඒ, ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳව 'කොස්ගොඩ තාරක' සහ 'පොඩි ලැසී' යන දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී ය.
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු ඔවුනට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු ජූනි මස 26 වැනි දින බූස්ස බන්ධනාගාරයට ගොස් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ය.
එහිදී 'පොඩි ලැසී' නමැත්තා එම නිලධාරීන්ටත් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාටත්, ජනාධිපතිවරයාටත් , ආරක්ෂක ලේකම්වරයාටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර ඇති බව දිලීප පිරිස් මහතා අනාවරණය කළේ ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, අධිකරණ නියෝග මත රඳවා සිටින පිරිස මැර බලය අවි බලය සමග රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම බරපතල කාරණයක් බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි රැසක් සටහන් කරගෙන ඇති බවත් දිලීප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ, බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේ බෝම්බ ගසා ප්‍රතිවාදීන් ඝාතනය කිරීමට බන්ධනාගාරය තුළ සිට මොවුන් සැලසුම් කර ඇති බවයි.
ඔවුනට එතරම් ආත්ම ශක්තියක් ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ඇතැම් බන්ධනාගාර නිලධාරින් සැකකරුවන් සිටින හිරකුටිවලට වඳිනවා දුටු බවත් තවත් ඇතැමුන් හිතෙන් වඳින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා අධීකරණය හමුවේ පැවසුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් 'කොස්ගොඩ තාරක' නමැත්තා ගිනි අවි පරිහරණය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 'පොඩි ලැසි' නැමැති සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ය.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගොස් 'පොඩි ලැසී' නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් 25 වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේ ය.