තෙල් නෞකාවේ යළි හටගත් ගින්න තවදුරටත්...

තෙල් නෞකාවේ යළි හටගත් ගින්න තවදුරටත්...

by Staff writer 08-09-2020 | 12:50 PM

COLOMBO (News 1st) - New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඊයේ (07) පස්වරුවේ යළි හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ගින්න මැඩපැවත්වීම සඳහා ඒකාබද්ද මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවය. නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සාගරයට යම් හානියක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සඳහා විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සිටී. එම කණ්ඩායමට රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ විද්‍යාඥයින් දෙදෙනෙක්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විද්‍යාඥයින් දෙදෙනෙක් සහ නාරා ආයතනයේ විද්‍යාඥයින් දෙදෙනෙක් ඇතුළු පිරිසක් වේ. අද අලුයම 4.50 ට නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මගින් පිටත්ව ගිය එම පිරිස පෙරවරු 10.30 ට පමණ නෞකාව ආසන්නයට ළඟාවී තිබුණි. මේ අතර නෞකාවෙන් හදිසි තෙල් විසිරීමක් සිදුවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසි තත්ත්ව කළමානාකරණ කණ්ඩායම අද රැස්වේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය අප කළ විමසීමකඳී සඳහන් කළේ, මේ සඳහා නාවික හමුදාව, ගුවන් හමුදාව, ආපදා කළමානාකරණ දෙපාර්තමේන්තුව, ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15 ක් සහභගී වන බවය. නෞකාව ආසන්නනේ ඇති අධිසංවේදී පරිසර කලාප මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඊට බලපෑමක් එල්ල වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.