New Diamondහි අභ්‍යන්තර ගිනි නිවීමට තවත් දින දෙකක්

New Diamond නෞකාවේ අභ්‍යන්තර ගිනි සම්පූර්ණයෙන් නිවීමට තව දින දෙකක් ගත වෙයි - ගුවන් හමුදාව

by Staff writer 07-09-2020 | 5:35 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ අභ්‍යන්තර ගිනි ගැනීම් සම්පූර්ණයෙන් නිවා දැමීමට තව දින 2 ක් පමණ ගත වනු ඇතැයි ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේ, අදාළ ගින්න නිවීම සඳහා අද උදෑසනත් ගිනි නිවීමේ ද්‍රාවණ කිලෝග්‍රෑම් 1000ක් ඉසීමට කටයුතු කළ බවයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ නෞකාව ඇතුළත යකඩ කොටස් උණුවීම හේතුවෙන් එක්වරම ගින්න නිවා දැමීම අසීරු වී ඇති බවයි. මේ දක්වා නැව අභ්‍යන්තරයට ගිනි නිවීමේ ද්‍රාවණ එක්කිරීමේ හැකියාවක් ලැබී නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර New Diamond නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි විශේෂඥයින් පිරිස නෞකාව ආසන්නයට ළඟා වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ය. නෞකාව ගලවා ගැනීමේ කටයතු සඳහා තවක් විශේෂඥයින් පිරිසක් ඊයේ රාත්‍රියේ මත්තල ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය. මේ අතර නෞකාවේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍ය අධ්‍යන අංශයේ නාරා ආයතනයේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂඥයින් පිරිසක් අද New Diamond නෞකාව ආසන්නයට ළගා වීමට නියමිත ය. New Diamond නෞකාව මේ වනවිට පවතින්නේ, ගොඩබිම සිට නාවික සැතපුම් 28 ක් දුරින් ය. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ අද දිනයේත් නිරීක්ෂණ ගුවන් යානා යොදා නෞකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි. ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානාවක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කළේ ය. මේ අතර ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි සමාගමක් වන නෞකාවේ වාණිජ හිමිකරු මේ වනවිට නැව ගලවා ගැනීමේ කටයුතු සිංගප්පූරු සමාගමට භාරකර තිබේ. නාවික හමුදාව නිවේදනය කළේ, එම ආයතනය විසින් නෞකා මෙහෙයුම් සඳහා බොරතෙල් සම්බන්ධ විශේෂඥයින් හා උපකරණ New Diamond නෞකාව වෙත යොමු කරමින් ඇති බවයි. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ, New Diamond නෞකාව ආශ්‍රිත ප්‍රදේශයට යාමෙන් වළකින ලෙසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ මෙම ගින්න හටගත්තේ ය. ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාව යාත්‍රා කරමින් තිබුණේ සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් ය. පැනමා ධජය යටතේ යාත්‍රා කළ එම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ.