ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීම ගැන සාකච්ඡාවක්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමේ සාකච්ඡාවක්

by Staff writer 07-09-2020 | 9:20 PM

COLOMBO (News 1st) : හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාකච්ඡා විය.

වැඩබලන පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා අද කොමිසම හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ ඊට අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමට හැකි බවයි. අවස්ථා දෙකකදී තමන් යළි සේවයේ පිහිටුවන්නැයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලලිත් ජයසිංහ මහතා අභියාචනා කළ ද එය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසුවේ ය. පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිළිබඳව පැමිණිලි පාර්ශවය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් වැඩබලන පොලිස්පතිවරයා , ප්‍රථමයෙන් තමාත් දෙවනුවට ලලිත් ජයසිංහ මහතාත් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින බවත් තමා එකොළොස් වතාවක් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනුම සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ලලිත් ජයසිංහ මහතාගේ සේවය පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව ය. එමෙන්ම සේවයේ සිටියේ නම් පොලිස්පති ධුරයට පවා පත්වීමට ලලිත් ජයසිංහ මහතාට හැකියාව තිබූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ ය. වැඩ තහනමට ලක්ව සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා සම්බන්ධයෙන් කළ නිර්දේශය හා ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය පිළිබඳව දෙආකාරයකින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිසම ප්‍රශ්න කළේ ය. ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් නීතිපති මතය ද විමසූ බව මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ ය. කොමිසම ප්‍රශ්න කළේ, පරිපාලනමය තීරණ ගැනීමේ මූලික වගකීම තමන් සතුව තිබියදී නීතිපති මතය විමසුවේ මන්ද යන්නයි. තමන් සාමාන්‍යයෙන් යම් යම් තීරණ ගැනීමේදී නීතිපති මතය විමසන බව මෙහිදී පොලිස්පතිවරයාගේ පිළිතුර විය. ජයසිංහ මහතා සේවයේ නොපිහිටුවීම ඇතැම්විට පරිපාලනමය දෝෂයක් විය හැකි බවද ඔහු එහිදී කියා සිටියේ ය.