ගංවතුරක් ආවත් දුවන්න තැනක් නැති මිනිස්සු

සුනාමියක් තියා ගංවතුරක් ආවත් දුවන්න තැනක් නැති මිනිස්සු

by Staff writer 07-09-2020 | 9:12 PM

COLOMBO (News 1st) : ගම්මැද්ද කණ්ඩායම් අදත් ජනතාව හමුවෙන්න අනුරාධපුර, ගාල්ල සහ මන්නාරම දිස්ත්‍රික්කවල සංචාරය කළේ ය.

අනුරාධපුර , ගලෙන්බිඳුනුවැව ගමේ ඉන්නෙත් හිත් බිඳුනු මිනිස්සු ය. විශේෂයෙන් මහසෙන්පුර පවුල් 70ක් බොන්නේ කිවුල් වතුර. කාලෙක ඉඳලා කිවුල් වතුර බොන නිසා මේ ගම වකුගඩු පුරයකි. මේ ගම්මුන්ට වතුර ගන්න ළිඳක් සකස් කරලා දීලා තියෙනවා කිලෝමීටර දෙකක් විතර දුරින්. ළිඳ තියෙන්නේ රක්ෂිතය ළඟ. නමුත් ළිඳ වටකර අලි. මාස තුනකට කලින් ගමේ කෙනෙක් මැරුණේ වතුර ගන්න ළිඳට ගිය වෙලාවේ අලි ප්‍රහාරයකින් ය. ඒ නිසා මේ ගමේ අයට වතුරත් ඕනේ. අලි වැටකුත් ඕනේ. මන්නාරම, මුසාලේ, උත්තරීපුතුරේ ගම්මුන්ට තියෙන්නෙ oneway වාසනාවක්. වාසනාව තමයි ආණ්ඩුවෙන් ගෙවල් හදලා දීපු එක . අවාසනාව තාම පදිංචි වෙන්න අවසර දීලා නැහැ . වහපු ගෙවල් දිහා බලාගෙන තැන තැන ජීවත් වෙන මේ මිනිසුන්ට බොන්න වතුරත් නෑ. වතුර දකින්න ගංවතුරක් එන්නම ඕනේ. නැතිනම් ගෙදර තියෙන ටැංකියට වතුර පුරෝගන්න දවසකට රුපියල් 1200ක් ඕනේ. මේ ගාන හොයාගන්නවත් මේ මිනිස්සුන්ට හරිහමන් රස්සාවක් නැහැ. ඔහු ඉල්ලන්නේ පිපාසය නිවන ක්‍රමයක් ය. අම්බලන්ගොඩ ඉඳලා කිලෝමීටර පහක් ගියාම මහවෙල කියන ගම හමු වෙනවා. මහවෙල මිනිස්සු මුණගැසීමත් සතුටක්. ඒකට හේතුව තමයි සුනාමි ආපු වෙලාවේ ලී කොට හරහට දාපු පාලමකින් පැනලා දුවලා දිවි බේරා ගත් පිරිසක් මේ ගමේ ඉන්නේ. නැත්නම් දුවන්නෙ වෙන්නේ මුහුද දෙසට. දැන් ඒ තාවකාලික පාලම නැහැ.ආයෙ සුනාමියක් තියා ගංවතුරක් ආවත් දුවන්න තැනක් නැහැ. අඩි 10 ක් පළල පාලමක් දුන්නොත් හැමදාම පාසලට පොලීසියට රෝහලට යන්න කිලෝ මීටර් හතර හමාරක් දුර ගෙවන ගම්මුන්ට විනාඩි දෙකෙන් යන්න පුළුවන්. මෙගොඩ ඉඳන් බැලුවම වේරගොඩ ගම පේනවා. මේ ඇලට පාලමක් නැති නිසා ගම් දෙකක නෑදෑකමත් ඈත් වෙලා.