විශේෂඥයින් නිව් ඩයමන්ඩ් නෞකාව ආසන්නයට

විදේශීය විශේෂඥයින් නිව් ඩයමන්ඩ් නෞකාව ආසන්නයට..

by Staff writer 07-09-2020 | 8:17 AM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණි විශේෂඥයින් පිරිස නිව් ඩයමන්ඩ් නෞකාව වෙත ළගා වී ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ගලවා ගැනීමේ කටයුතු පිළිබඳ විශේෂඥයින් 6 දෙනෙකු එලෙස නෞකාව වෙත රැගෙන යමින් ඇති බවයි. නිව් ඩයමන්ඩ් නෞකා මෙහෙයුම සඳහා 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය. මෙම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුලත් වේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ අද දිනයේත් නිරීක්ෂණ ගුවන් යානා යොදා නෞකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි. ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානාවක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවේය. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර ආයතනයක් පත් කර තිබේ. නාවික හමුදාව නිවේදනය කළේ එම ආයතනය විසින් නෞකා මෙහෙයුම සඳහා බොරතෙල් සම්බන්ධ විශේෂඥයින් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත යොමු කරමින් ඇති බවයි. මේ අතර ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත ප්‍රදේශයට යාමෙන් වළකින ලෙසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ මෙම ගින්න හටගත්තේය. ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාව යාත්‍රාකරමින් තිබුණේ සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ එම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ. මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පුර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඊයේ ප්‍රකාශ කළේය. නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේ කෙසේ වෙතත් යළි ගින්න ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි.