COLOMBO (News 1st) : විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 56,000ක් යළි මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ පිරිස යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්ද?
ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබුණු ඊමේල් පණිවිඩයක් උපුටා දක්වමින් වාර්තා කළේ, එහි සිටින ශ්‍රී ලාංකිකයින් 350,000 අතරින් 25,000 - 30,000 අතර පිරිසක් ආපසු ඒමට අපේක්ෂාවෙන් සිටින බවයි.
ඉන් 14,000 ක් ඉතා අසරණ තත්ත්වයේ සිටින බව පුවත්පත් වාර්තාවේ සඳහන් විය.
මේ අතර සෞදි අරාබියේ රියාද් නුවර මාෂා කඳවුරේ මාස ගණනාවක සිට 30 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිරවී සිටී.
මෙම පිරිස රඳවා සිටින්නේ වීසා අවසන් වීම, වැටුප් නොලැබීම ඇතුළු විවිධ හේතු මුල් කරගෙනයි.
ශ්රමියකයින්ගේ අදහස් -
අපිට රස්සාවල් නැහැ. දැන් මාස හතරකින් 5කින් පඩි නැහැ . මොකද මේ කියලා අපිට තේරෙන්නේ නැහැ . ඇයි අපිට ප්ලයිට් එකක් එවන්නේ නැත්තේ? ලංකාවෙන් එනකොට විදේශසේවා එකේ අපි රක්ෂණය වෙනවා. අඩු ගානේ රක්ෂණයෙන්වත් අපිට ටිකට් එකක් දෙන්න බැරිද? අපි මෙතන අසරණ වෙලා දුක් විදිනවා.
මෙතන අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් දැන්. මගේ අවුරුද්දෙ පඩිය ගන්න අවුරුදු දෙකක්. ඇයි මෙහෙම කරන්නෙ ? අපේ දරුවො අසරණ වෙලා. කවද්ද එන්නෙ කියලා අහනවා. මොනවද අපි කියන්නෙ ?
අපිව අද යවනවා හෙට යවනවා කියලා ඇයි අපිව යවන්නෙ නැත්තෙ ? අපි ලංකාවට කවද්ද එන්නෙ ? අපි මේ රටට ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා දැනට. ඇයි..? හාම්පුතාගෙන් අවුරුදු දෙකෙන් අපේ වීසා කැන්සල් වෙනවා. ඇයි ඒ ගැන කවුරුත් යවන්නෙ නැත්තෙ ?
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ් මහතා
මේ විදෙස්ගත කාන්තාවන් මේ කොවිඩ් 19 නිසා විදෙස්ගත වෙලා ඉන්න අයගෙන් බොහෝ අය ඒ රටවල්වලදිත් අතවරයන්ට ලක්වෙච්ච ඒවා, අතවරයන් නිසා ගැබ් ගත්ත අවස්ථා එහෙම වාර්තා වෙනවා. එතකොට ඒ කාන්තාවන් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ මොකක්ද ? ඒ හිංසනයන් හා අපරාධවලට ලක්වෙච්ච මිනිස්සුන්ගෙ ජීවිතවලට ගන්නා වගකීම මොකක්ද ? අපි ඇතැම් විටෙක ඒ වගේ අතවරයක් නිසා. ඉතින් එතකොට ඒ පිටරටක ගෘහ සේවිකාවක් හැටියට ගිහිල්ලා අතවරයට ලක්වෙලා එහෙම ගැබ්ගැනීමක් සිද්ධවෙච්ච කාන්තාවකට ගබ්සාවේ අයිතිය ලංකාවෙ තියෙනවාද?
මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළ පිළිබඳව අද පැවති උත්සවයක් අතරවාරයේ යුද හමුදාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසුවේ ය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා
මොනතරම් අමාරුකම් තිබ්බත් අපි ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවට රැගෙන එන්න ශ්‍රී ලංකාවේ රජය විසින් සැලසුමකට අනුව කරගෙන යනවා. නමුත් යම් යම් කල්වේලා බැලුවට පස්සෙ ප්‍රමාදයන් ඇති.ඒ හැම ප්රමාදයක්ම රටේ ජීවත්වන සමාජයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තමයි ඒ ප්‍රමාදයන් ඇති වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි තාමත් අද දිනය වනවිටත් අපිට සමාජයේ කොවිඩ් පැතිර යාම වළක්වා ගනිමින් ශ්‍රී ලංකාවට රැගෙන එන්නෙ. මේක ඉතාමත් පහසු කාර්යයක් නෙවෙයි. එන අයවලුන් කොවිඩ් සමග එද්දී ඔවුන් නිරෝධායනය කරන අවස්ථාව දක්වා ඔවුන් PCR පරීක්ෂණයෙන් හමුවන තෙක් කාලපරාසය තුළ අපි ඔවුන්ව තවත් පුද්ගලයෙකුට පැතිර නොයන ආකාරයෙන් රැක බලාගෙන කරන ක්‍රියාවලිය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ද වෝක් ෆ්‍රී පදනම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් මුල පිරීම එක්ව සකස්කළ වාර්තාවක දැක්වෙන්නේ ලොව නුතන වහල්වාදයට ගොදුරු වූ මිලියන 40.3 ක පිරිස අතරින් සියයට 40 ක් ශ්‍රී ලංකාව ප්රමුඛ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පුද්ගලයින් බවයි.
එවැනි ඉහළ අගයක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් වාර්තා වීම කෙරෙහි කොවිඩ් වසංගතයද බලපා ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් ය.