මැණික් කර්මාන්තකරුවන්ට සහනයක්

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පැනවූ බදු 2ක් ඉවත⁣ට

by Staff writer 07-09-2020 | 8:58 PM

COLOMBO (News 1st) : මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. 2018 වසරේ දී රත්‍රං ආනයනය සඳහා 15%ක බද්දක් පනවනු ලැබුවේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී ඇති බවයි. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු යැයි ජනාධිපතිතුමා අද පෙන්වා දුන්නේ ය. ඒ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. මෙහිදී මැණික් සඳහා වන ලෝක වෙළෙඳපොළේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම ආශ්‍රිත ගැටලු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉදිරිපත් කළ යෝජනා 14ක් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ති‌බේ. මෙරටදී හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේණික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීමේ සහ මැණික් සංචිත පවත්වා ගෙන යාමේ වැදගත්කම ලොහාන් රත්වත්තේ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය. මැණික් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්‍රං මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට මෙහිදී උපදෙස් දුන්නේ ය. වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර කැනීම් සඳහා පවරා ගැනීමට ද මෙහිදී තීරණය කර තිබේ.