හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට පීඩා

හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට පීඩා

by Staff writer 06-09-2020 | 8:10 PM

COLOMBO ( News 1st ) : හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි නියෝග කර තිබේ.

ජපාන කාලගුණ බලධාරීන් සඳහන් කළේ, හයිෂෙන් සුළි කුණාටුව පැයට සැතපුම් 100 කට අධික වේගයකින් හමා යනු ඇති බවයි. එය කියුෂු ප්‍රදේශය පසු කරමින් සිටින අතර හෙට දිනයේදී දකුණු කොරියාවට පිවිසෙනු ඇති බවට විශ්වාස කෙරේ. මෙම කුණාටුව පැමිණෙන්නේ වසර ගණනාවකට පසුව කලාපයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් වන ''මේසැක්'' සුළි කුණාටුවෙන් පසුවයි. හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ කර්මාන්තශාලා, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වාර සිය ගණනක් අවලංගු කර තිබේ. . සුළි කුණාටුව නිසා ඇති විය හැකි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජපානයේ කැබිනට් මණ්ඩලය හදිසියේ රැස්වීමටද නියමිත ය. එරට කාලගුණ බලධාරීන් පැවසුවේ දැඩි ලෙස අනතුරු ඇඟවීමට තරම් මෙම සුළිකුණාටුව බරපතල නොවන නමුත් වෙරළ තීරයේ අධික වැසි හා රළ පහර නිසා අවට ජනතාව බෙහෙවින් සැළකිලිමත් විය යුතු බවයි. වඩදිය බාදිය වැඩිවීම හේතුවෙන් පහත් බිම්වල හා විශේෂයෙන් ගංගා මෝය අවට ජල ගැලීම් සිදුවිය හැකි බවට ජපාන කාලගුණ ආයතනයේ පුරෝකතන අංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ. මේ අතර මින් පෙර බලපෑ ''මේසැක්'' සුළි කුණාටුවට හසුව අතුරුදන්වූ නෞකාව පිළිබඳ විමර්ශන නැවැත්වීමට සිදුව ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් ය. '' ගල්ෆ් ලයිව්ස්ටොක්-වන් '' නමැති මෙම නෞකාව පසුගිය බදාදා අතුරුදන් වූයේ කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු සහ හය දහසකට අධික එළදෙනුන්ද රැගෙන යාත්‍රා කරමින් තිබියදී ය.