රු. කෝටි 2100 ක හදිසි විදුලි මිලදී ගැනීමේ සූදානමක්

රු. කෝටි 2100 ක හදිසි විදුලි මිලදී ගැනීමේ සූදානමක්

by Staff writer 06-09-2020 | 8:34 PM

COLOMBO ( News 1st ) : රුපියල් කෝටි 2100 ක හදිසි විදුලි මිලදීගැනීමේ සූදානමක් පිළිබඳ පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධාන කිහිපයක් අද අනාවරණය කළේ ය.

රුපියල් කෝටි 2100 ක් ගෙවා අධික මිලට හදිසි විදුලි මිලදී ගැනීමකට ලංකා විදුලිබල මණ්ඩලයේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. ඔවුන් පවසන්නේ කෙටිකාලීන පදනම මත හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සමාගම් වෙත මේ වනවිටත් ටෙන්ඩර් පිරිනැමීමට අවශ්‍ය පියවර ලංකා විදුලි බල මණ්ඩලය මගින් ගෙන ඇති බවයි. එක් විදුලි ඒකයක් සඳහා ගෙවීමට යෝජිතව ඇත්තේ රුපියල් 31 කට ආසන්න මුදලක් ය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා
කෙටි කාලීන පදනම මත විදේශීය සමාගම් දෙකකින් හොංකොං සමාගමක් සහ ඩුබායි සමාගම් දෙකකින් මෙගාවොට් 128 ක් විදුලි මිලදී ගැනීමක් කරන්න යනවා. ඉතාමත්ම අනීතික අකාරයට. අපි කියනවා විදුලි ඉංජිනේරුවෝ ඉන්නවා විදුලි මාෆියාව පිටිපස්සේ. විදුලිබල අමාත්‍යාංශ නිලදාරීන් ඉන්නවා. සමහර තානාපතිවරු ඉන්නවා. සහ විදුලිබල ඇමතිවරයා කියන පරිදිම පාර්ලිමේන්තුව තුළත් ඉන්නවා ඒ දූෂිත මාෆියාවට උදව් කරන දේශපාලකයෝ . ඉතින් ඒ නිසා තමයි දැන් මෙන්න මේ විදුලිය මිලදී ගැනීම කරන්න තියෙන්නේ. මෙයින් රටට අහිමිවන මුදල කෝටි 2100 ක් . කොයි රජය ආවත් මේ විදුලි මාෆියාව ක්‍රියාත්මක වෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. අදිකාරීවරයාගේ අත්වැරදීම එය හිතාමතා කළ කාර්යක් බවට දැන් අපිට පැහැදිලියි. මහජන උපයෝගීතා කොමිසමට අපි කියනවා මේ රටේ විදුලි පාරිභෝගිකයෝ රැක ගැනීමේ වගකීම තියෙන්නේ මහජන උපයෝගීතා කොමිසමට. පනත මගින්ම දීලා තියනවා. ඒ නිසා මේවට මේ තියන අනුමැතිය දෙන්න එපා. විදුලි බල මණ්ඩලය හාන්සි කරවන කෝටි 2100 ක් රටට අහිමි කරන මේ විදුලි මාෆියාව නැවතීම සඳහා වහාම කටයුතු කරන්න.
මේ අතර මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා
ඒ වගේම මේ හා සම්බන්ධ වන්නා වූ පුද්ගලික ජල විදුලි බලාගාර හිමි විදුලි හිඟයක් නිර්මාණය වනවිට විදුලි බලය සම්පාදනය කරන්නා වූ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මේක විශේෂයෙන්ම මධ්‍ය මට්ටමින් මෙහෙයවන්නා වූ ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය කව්රුන්ද? විදුලි ඉංජිනේරුවන් රැසකගෙන් සමන්විත වන්නා වූ මේ පාලන අධිකාරිය තමයි මේ ක්‍රියාත්මකභාවය මේ ඔපරේෂන් එක මෙහෙයවනු ලබන්නේ. ඒ නිසා අපි නිශ්චිත වශයෙන්ම කියනවා ගරු අමාත්‍යතුමනි මේ ප්‍රශ්නය ලඝු කරන්නට එපා දියවන්නවාට.