by Staff writer 06-09-2020 | 6:24 PM
COLOMBO (News 1st) : පවතින වැසි තත්ත්වය හේතුවෙන් හබරාදුව ,රූමස්සල , කුළුණු කන්ද ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, පවතින අධික සුළං සමග කිතුල් ගසක් කඩා වැටීමෙන් ඇය මෙම අනතුරුට මුහුණ පා ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ 59 හැවිරිදි කාන්තාවකි.
දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක මහතා පැවසුවේ, දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලීමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලින් හෙට මධ්‍යහන 12 දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය..
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යාම ඊට හේතුවයි.
මේ අතර දිස්ත්‍රික්ක 5 කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ඒ , කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ය.
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල විය
අප වාර්තාකරු පැවසුවේ බදුල්ල සහ අවට ප්‍රදේශවලට අද පස්වරුවේ ධාරානිපාත වැසි ඇද හැලුණු බවයි.
මේ හේතුවෙන්, හාලිඇල කන්දෙගෙදර මාර්ගය ජලයෙන් යටවිය.
මේ අතර, මාතර පොළ භූමියේ වෙළෙඳසැල් කිහිපයකට ද දැඩි සුළඟින් හානි සිදුවිය.
මේ අතර කළුතර, පාලින්දනුවර, කොස්ගුලන ප්‍රදේශයේ කන්දක් මත තිබූ විශාල ගලක් මෝල්කාව-කෙලින්කන්ද ප්‍රධාන මාර්ගයට පෙරළී තිබුණි.
අප වාර්තාකරුවන් පැවසුවේ ප්‍රදේශයේ නායයෑම් අවදානම හේතුවෙන් එහි පවුල් 8 ක් නිවාසවලින් ඉවත් කර ඇති බවයි.
ඔවුන් මේ වනවිට කොස්ගුලන විහාරස්ථානයේ තාවකාලිකව ලැඟුම් ගෙන සිටී.
මේ අතර අධික සුළං හේතුවෙන් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ගසක් අද පස්වරුවේ කඩා වැටුණි.
අප වාර්තාකරුවන් පැවසුවේ එම ප්‍රදේශයේ වාහන තදබදය පැය 2කට ආසන්න කාලයක් පැවැති බවයි