කාලගුණය අයහපත්, ධීවරයින්ට විශේෂ දැනුම් දීමක්

කාලගුණය අයහපත්, ධීවරයින්ට විශේෂ දැනුම් දීමක්

by Staff writer 06-09-2020 | 12:08 PM

COLOMBO (News 1st) : කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලින් හෙට මධ්‍යහන 12.00 දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යාම ඊට හේතුවයි. මේ අතර දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩීවීමක් අදත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50- 60 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි ය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් කළුතර, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් එස්. ත්‍රිමාන්න මහතා සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග කොස්ගුලණ ගම්මානයට කඳුමුදුනක සිට ගල් පෙරලීමක් සිදුව ඇති බවයි. මේ හේතුවෙන් පවුල් 11 ක පුද්ගලයින් පිරිසක් නිවෙස්වලින් ඉවත් කළ බව ඔහු පැවසුවේ ය. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අද පස්වරුවේ එම ප්‍රදේශය ස්ථානීය නිරීක්ෂණයකට ලක් කිරීමට නියමිත ය. අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.