COVID-19 හරහා අප උගත් දේ ජනපති කියයි

COVID-19 අපිට උගන්වන වැදගත්ම පාඩම මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාවය - ජනපති

by Staff writer 05-09-2020 | 8:49 PM

COLOMBO (News 1st) : COVID-19 වසංගතය අපිට උගන්වන වැදගත්ම පාඩම මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාවය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද අන්තර් ජාතික බෞද්ධ අධ්‍යන ආයතනයේ පැවති යහපත් සීමාවාසිකයා දෙවැනි දින වැඩමුළුවේ ආරධිත දේශනය පවත්වමින් ය. ''COVID-19 මැඩ පැවැත්විමට සහාය හා දායකත්වය දුන් සැමට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා. සංවර්ධනය වූ රටවල් මෙම වසංගතය මැඩ පැවැත්වීමට අපොසත් වෙද්දී. ශ්‍රී ලංකාවට පුළුවන් වුණා සාර්ථක වෙන්න. මින් ඉගෙන ගත් තවත් වැදගත් පාඩමක් තමයි. මධ්‍යගත සෞඛ්‍ය සේවයක අවශ්‍යතාව. ශ්‍රී ලංකාවේ බොහො රජයේ රොහල්වල පරිපාලනය පළාත් සභාවලට තිබුණත් අපේ වාසනාවට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කළමනාකරණය වන රජයේ රෝහල් තිබුණා. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින්ම පවරා තිබුණේ නම්. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය, කාර්යක්ෂමතාව, බොහෝ සෙයින් වෙනස් වෙන්න තිබුණා. ඇතැම් කාර්යයන් විෂයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම. පවත්වා ගැනීමේ වැදගත්කම මෑතකාලීන අද්දැකීම්වලින් පැහැදිලි වුණා. එයින් හඳුනා ගත් තවත් ක්ෂේත්‍රයක් තමයි අධ්‍යාපනය. රාජ්‍ය පරිපාලනයේ ඉතාමත් අත්‍යවශ්‍යම පදනම වන්නේ නිරෝගීජනගහනය පවත්වා ගැනීම. සමහරක් වැදගත් සෞඛ්‍ය සේවා අරමුණු ළඟා‌ කර ගැනීම රජයේ මුලික වගකිමක්.''
වැඩමුළුවට සහභාගී වූ ජනාධිපතිතුමා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැලණිය, මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වූ අතර අනතුරුව ජනාධිපතිතුමා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යන ආයතනයේ මෙහෙණින් වහන්සේලා සමග ද සුහඳ පිළිසඳරක නිරත විය.