CCD කොස්තාපල්වරයා ද. ඉන්දියාවේදී කොටු

සපුගස්කන්දේ හෙරොයින් ජාවාරම: CCD කොස්තාපල්වරයා ද. ඉන්දියාවේදී දැලේ

by Staff writer 05-09-2020 | 5:40 PM

COLOMBO ( News 1st ) : සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සොයා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ධනුෂ්කොඩි ප්‍රදේශයේදී ය. තමිල්නාඩු වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරු ප්‍රවීන් කුමාර බණ්ඩාර ලෙස හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ. මොහු පාතාල කණ්ඩායම් සමග සබඳතා පවත්වන්නේ දැයි ඉන්දීය ආරක්ෂක අංශ හා තමිල්නාඩු බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මීගහවත්ත පොලීසිය සපුගස්කන්ද, සමගි මාවත ප්‍රදේශයේ පසුගිය 02 වැනිදා කළ වැටලීමකදී වඩු මඩුවක බෆල් එකක් තුළ සගවා තිබූ හෙරොයින් තොගය හමුවිය. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩිමහල් සොහොයුරා ය. තම සොහොයුරා වන පොලිස් කොස්තාපල්වරයා එම හෙරොයින් තොගය තමාට භාරදුන් බව ඔහු පොලීසියට පවසා තිබු‍ණි. කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කළේ ය. පොලීසිය සඳහන් කළේ, සැකකරු මුහුදු මාර්ගයෙන් මන්නාරම පේසාලේ ප්‍රදේශයට පැමිණ ඉන්දියාවට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කර පොලිස් භාරයට ගැනීමට නියමිතය.