''නැවේ ගින්න පැතිරීම පාලනය කළා'' - නාවික හමුදාව

නැවේ ගින්න පැතිරීම පාලනය කළ බව නාවික හමුදාව කියයි

by Staff writer 05-09-2020 | 7:18 AM
COLOMBO (News 1st) : New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ගින්න පාලනය කිරීමේ කටයුතු සඳහා නෞකා 11 ක් එක්ව සිටින බවයි. මේ අතර නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව චීන වරාය ගුවන් හමුදා කඳවුරින් අද උදෑසන වයි 12 වර්ගයේ ගුවන් යානයක් පිටත් කර හැර තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, නෞකාවේ පිටත කොටසේ ගින්න පැතිරීම පාලනය කර ඇතත් තවදුරටත් ගින්න පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා එම යානය යෙදවූ බවයි. ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානායක් සූදානමින් තබා ඇතැයි ද ඔහු පැවසී ය. මේ අතර වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේ, එම නෞකාවේ ගින්න පාලනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් නැවේ හිමිකරු, රක්ෂණ ආයතනය හා ගලවා ගැනීමේ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. ඉදිරි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැනමා රජය සමග සාකච්ඡා කරමින් ඇතැයි ද ඔහු පැවසී ය. වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේ, නැව පාවී ගොඩබිමට පැමිණිම වැළැක්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන කාන්දු වුවහොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනය විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, මේ සඳහා ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා ඇති බවයි. සංගමන් කන්දට ඔබ්බෙන්වූ මුහුදේ ගිනිගන්නා සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ ගින්න පාලනය කිරීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව මේ වන විටත් දැඩි ප්‍රයත්නයක නිරතව සිටී. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ පෙරේදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබිණ. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රාකරමින් තිබුණේ සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ. New Diamond යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබිණ. New Diamond නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු සිට ඇති අතර ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් ය. නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් එක් අයෙකු හැර සෙසු සියලු දෙනා බේරා ගැනිණ. අතුරුදන්ව සිටි අයෙකු ලද තොරතුරු අනුව මිය යන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදාව අද පෙරවරුවේ ප්‍රකාශ කළේ ය. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ.