ඉල්ලම පාමුල සල්ලං වෙච්ච මිනිස්සු

ඉල්ලම පාමුල සල්ලං වෙච්ච මිනිස්සු

by Staff writer 05-09-2020 | 7:52 PM

COLOMBO (News 1st) :  ගම්මැද්ද කණ්ඩායම් අදත් රත්නපුර , මුලතිව් හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනතා ගැටලු සොයා ගියේ ය.

කුරුවිට, ඇඳිරියන්වල ගමේ මිනිස්සුන්ට දවසට කිහිප වතාවක් මාරයා හමුවෙයි. ඒ, ගමේ තියෙන එකම පාලමෙන් එගොඩ මෙගොඩ යන විට ය. මේක වැල් පාලමක් වුණාට ගමේ මිනිස්සු එයට කියන්නේ මරු පාලම ලෙසය . මරු කියන්නේ හොඳ නිසා නෙවෙයි මරු පේන නිසා ය. පාලම උඩින් යනකොට කුරුගඟට වැටෙයි කියලා දරුවෝ බයෙන් සිටිති. කුරුවිට යනු මැණික් ඉල්ලම් තියෙන ගමකි. නමුත් මෙහෙ ඉන්නේ ඉල්ලම පාමුල සල්ලං වෙච්ච මිනිස්සු ය. මොවුන් අඩු නැතිව ගම්මැද්දට දුක පැවසුවේ ය. උටුටුපුලම් ගමේ පවුල් 400 හාරසීයක් අද වෙනතුරු පිරිසුදු වතුර පොදක් බී නොමැත. ගම්මැද්ද කණ්ඩායම හමුවේ මේ මිනිස්සු හිතේ තියෙන සියලුම බර අද මුදා හැරියේ ය. මුදල් හොයාගන්න පුළුවන් අය නළ ළිං හදාගෙන තිබේ. අනෙක් අය කොහෙන් හෝ වතුර ටිකක් හොයාගෙන බොයි. එහෙම නැති බොහෝ දෙනාට වතුර වෙනුවට ළඟ රැඳෙන්නේ කඳුළුයි, දහදියයි විතරයි. ගමට වැවක් තිබුණත් ඒ වැවෙන් නල පද්ධතියක් එලුවොත් පවුල් 400 කට වතුර බොන්න පුළුවන් ය. ගම්මැද්දත් එක්ක තියෙන ලෙන්ගතු කමට මෙහෙම දුක කිව්වට පොලොන්නරුව සෙවනපිටිය කරපොල ගමේ මිනිස්සු හඬ හඬා ම හිටියේ නැහැ . අලි උවදුරෙන් බේරෙන්න බැරිම තැන ගම්මු එකතුවෙලා අලි වැටක් හදන්න පටන් ගත්තේ ය. ධෛර්යවන්ත මිනිස්සු සෙවණපිටියේ සිටී. ඊයේ පෙරේදත් අලි ගහලා තිදෙනෙක් ජීවිතක්ෂයට පත් විය. ගමේ පවුල් 1,600න් වැඩි දෙනෙක් කරන්නේ ගොවිතැන ය. වගා කරන සේසතම අලින්ට පූජා කරන්න සිද්ධ වී ඇත. මේ ගමට තියෙන්නෙ අලි ප්‍රශ්නය පමණක්ම නොවේ. ගමේ බොන්න වතුර නැහැ. ළිංවල වතුර බොන්න එපා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උපදෙස් දී තිබේ. ඒත් කොච්චර දවස් පිපාසය හංගන්න ද ? බැරිම තැන මේ කිවුල් වතුරෙන් දිවි ගෙවන්න පුරුදු වුණ අයගෙන් බොහෝ දෙනා අද වකුගඩු රෝගීන් ය. සෙවනපිටිය ගමට ඕන මිලියන ගණනක ව්‍යාපෘති නෙවෙයි. වතුර ටිකක්.