මංගලට හා ශානිට නොතීසි

මංගල සමරවීරට හා ශානි අබේසේකරට ජනපති කොමිසමේ පෙනී සිටින්නැයි නොතීසි

by Staff writer 04-09-2020 | 4:31 PM

  COLOMBO ( News 1st ) : හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනෙකුට ලබන 16 වැනිදා දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති  කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, අද නොතීසි නිකුත් කෙරිණ.

ඒ , රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ෂම්මි කුමාරරත්න මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා යහපාලන රජයෙන් හිමි වී තිබූ අසීමිත බලය පාවිච්චි කරමින් යුද හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමට මෙන්ම රාජපක්ෂවරු නැවත බලයට පැමිණීම වැළැක්වීමට දැඩිව ක්‍රියා කළ බව කර්නල් ෂම්මි කුමාරරත්න මහතා ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ශානි අබේසේකර මහතා විවිධ නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬපටයක් ද   අද කොමිසමේ දී වාදනය කෙරිණ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ,උපදෙස් දෙනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව පවසන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමාට අවස්ථා ගණනාවකදී බලපෑම් කළ බව , කර්නල් ෂම්මි කුමාරරත්න මහතා කොමිසම හමුවේ සඳහන් කළේ ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ , 2020 ජනාධිපතිවරණයට මාසයක කාලයක් තිබියදී තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා " ප්‍රගීත් එක්නැලිගොඩගේ සිද්ධිය සම්බන්ධයෙන් එදා ඉඳලා දුන්නේ එකම උත්තරය .අද කියන්නෙත් ඒ උත්තරේ ම ද යනුවෙන් විමර්ෂණයට නිළධාරින් තමාගෙන් තර්ජනාත්මකම විමසූ බවයි . අවසන් මොහොතේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීම් වැළැක්වීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව එයින් ගම්‍ය වන බව කර්නල් ෂම්මි කුමාරරත්න මහතා පෙන්වා දුන්නේ ය.