by Staff writer 04-09-2020 | 6:12 PM
COLOMBO ( News 1st ) :යහපාලන ආණ්ඩු සමයේදී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දුෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදුකළ ඇතැම් ක්‍රියා නීතිවිරෝධීව සිදුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පිළිගත්තේ ය.
ඒ , දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියේ ය.
කොමිසම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ ජාතික විධායක සභාව කුමන නීතියක් යටතේ ස්ථාපනය කළ ආයතනයක් ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , එය නීතියක් යටතේ ස්ථාපනය නොකළ බවයි.
2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර උපකාර කළ විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් සාදා තිබූ බවත් එය ජාතික විධායක සභාව ලෙස හැඳින් වූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම සභාවේ සාමාජිකයින් ලෙස තමා ඇතුළුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික මෙන්ම දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් කටයුතු කළ බවයි.
කොමිසමට ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව ජාතික විධායක සභාව කැබිනට් මණ්ඩලයට ඉහළින් කටයුතු කළ ආයතනයක් බව පෙනී යන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.
එවිට වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, විධායක සභාවට කැබිනට් මණ්ඩලයට ඉහළින් විශේෂ බලයක් ලබා නොදුන් බවයි.
යහපාලන රජය විසින් ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවනු ලැබූ දූෂණ විරෝධී කමිටුවට ලැබෙන තොරතුරු මත වැටලීම් කිරීම, අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම හරහා සැකකරුවන් සමාජයේ වැරදිකරුවන් ලෙස හංවඩු ගැසෙනවා නේ දැයි කොමිසම වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ ය.
"දැන් බලන්න මට වෙච්ච දේ.මට බැඳුම්කර මහ හොරා කියලානේ කියන්නේ.බැඳුම්කර කොමිසමෙනුත්, පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා. මගේ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මාධ්‍ය මහත්වරු එහෙම හිතන්නේ නැහැ. චෝදනාවක් එල්ල වුණාහම එහෙම වෙන එක සාමාන්‍යයි." යනුවෙන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
මෙහිදී කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ , ඇතැම් අවස්ථාවලදී කමිටුව විසින් යම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබට පීඩනයක් එල්ල වුයේ ද යන්නයි.
"අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ .කියපු අයයි ගියපු අයයි ඔක්කොම මාව දාලා ගිහින්. මම දැන් තනිවෙලා ඉන්නේ . ඊට පිළිතුරු ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
කොමිසම විමසා සිටියේ දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම් කුමන ස්ථානයක පැවැත්වූයේ ද යන්නයි.
ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , නිශ්චිත කාර්යාලයක් ලබා දෙනතුරු අරලියගහ මන්දිරයේ කාර්යාලයක් ලබාදුන් බවත් එහිදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් එම හමුවට සහභාගී වූ බවයි.