20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ

by Staff writer 03-09-2020 | 6:32 PM
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එහි සඳහන් පරිදි අවධානයට ලක්වන සංශෝධන කිහිපයක් මෙසේයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා කළ ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධයෙන් ඇතැම් වගන්ති යළි ඇතුළත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තු සභාව ලෙස වෙනස් වන අතර පාර්ලිමේන්තු සභාවේ සාමජිකයින් වන්නේ අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, අගමැතිවරයා විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දැනට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික සංයුතියට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් හා සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනෙක් ඇතුළත් වෙති. නමුත් පාර්ලිමේන්තු සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා හා සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනා ඇතුළත් නොවේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් කොමිෂන් සභා දෙකක් අහෝසි කර තිබේ. එම කොමිෂන් සභා දෙක වන්නේ ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසමයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි යන්න 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර ඇතත්, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වේ. නව කෙටුම්පතේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම ප්‍රධානියා ද වන බවයි. අමාත්‍ය මණ්ඩලය විසිර ගිය ද ජනාධිපතිවරයා ධුරය දරන බව නව සංශෝධනයේ ද ඇතුළත් වේ. දැනට පවතින්නේ අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතු බවයි. නමුත්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය යැයි, හැගෙන්නේ නම්, අග්‍රමාත්‍යවරයාගේ අදහස් විමසා කැබිනට් මණ්ඩලය පත් කළ හැකි බවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් අමාත්‍ය මණ්ඩල සීමා , 20 වන සංශෝධනයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව, විෂයන්, තීරණය කිරීමේ බලය පැවරෙන්නේ ජනාධිපතිවරයාටයි. එමෙන්ම ජනාධිපතිවරයාට ඕනෑම විෂයක් හෝ කාර්යයක් පවරා ගත හැකි අතර ඇමතිවරු , විෂයන් මෙන්ම සංයුතිය ද වෙනස් කිරීමේ හැකියාව පවතී. කැබිනට්, කැබිනට් නොවන හා නියේජ්‍ය අමාත්‍යවරු සම්බන්ධයෙන් එම සංශෝධනය ක්‍රියාත්මකයි. එමෙන්ම ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා ද නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලය හිමි වේ. පාර්ලිමේන්තුව රැස් වී වසර හතර හමාරක් ගතවන තුරු විසුරුවා හැරිය නොහැකි බවට ව්‍යවස්ථාවේ දැක්වේ. එහෙත් 20 වන සංශෝධනය තුළින් පාර්ලිමේන්තුව රැස් වී වසරකට පසුව ජනාධිපතිවරයාට එය විරුසුවා හැරිය හැකියි. දැනට ව්‍යවස්ථාවේ පවතින්නේ වෙනත් රටක ද පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවයි. එහෙත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම වගන්තිය ඉවත් කර තිබේ. https://business.facebook.com/NewsfirstSL/videos/662650291020156/