සය වැනි දිනටත් ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද

සය වැනි දිනටත් ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද

by Staff writer 03-09-2020 | 3:56 PM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක තුනක සංචාරය කරන ගම්මැද්ද කණ්ඩායම් වලට අදත් ජනතා ගැටලු රැසක් හමු විය.

ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දිවයිනේ දිස්ත්‍රික්ක 25ක් පුරා ක්‍රියාත්මකවන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින් සමග එක්වයි. මුලතිව් ,පොලොන්නරුව හා රත්නපුර දිස්ත්‍රික්ක වල සංචාරයේ දී අපට ජනතා ගැටලු විශාල ප්‍රමාණයක් හමු විය. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුලගම සහ වටවල ගම්මානවල ජනතාව පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටියි. බලංගොඩ වටවල ඇතුළු ප්‍රදේශ කිහිපයක වන අලි ගැටලු උග්‍ර වී තිබේ. පවුල් 400 කට වැඩි පිරිසක් මේ නිසා පීඩාවට පත්ව සිටින බව ගම්මුන් අප සමග පැවසුවේය. පිරිසිදු පානීය ජලය නොමැතිකම, රජරටටත් ප්‍රශ්නයක් වී තිබේ. පොලොන්නරුව,හිඟුරක්ගොඩ ජනතාව අප සමග පැවසුවේ පානීය ජල ගැටළුවට මුහුණ දෙන තම ප්‍රදේශ වලින් වැඩි වශයෙන් වකුගඩු රෝගීන් ද වාර්තා වන බවයි. හිඟුරක්ගොඩ ප්‍රාථමික විද්‍යාලයට සෞන්දර්ය පන්ති කාමරයක් සහ අවශ්‍ය පහසුකම් නොමැතිකම එම දරුවෝ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරය කරන ගම්මැද්ද කණ්ඩායම් අද මාමුලේයි ප්‍රදේශයට ගියේය. අවුරුදු 15 ට අඩු ළමුන් පාසල් නොයෑම මේ ප්‍රදේශයේ පවතින ගැටළුවකි. මේ ජනතාව ජීවත් වන්නේත් ආර්ථික අභියෝග රැසක් මැද්දේ වීම තවත් ප්‍රධාන ගැටළුවකි.