මුහුදු ප්‍රදේශ රැසක කොළ පැහැති ඝන ද්‍රව්‍ය තරලයක්

දිවයිනේ මුහුදු ප්‍රදේශ රැසක කොළ පැහැති ඝන ද්‍රව්‍ය තරලයක්: වහාම පරීක්ෂණ අරඹයි..

by Staff writer 03-09-2020 | 8:09 AM
COLOMBO (News 1st) - කොළ පැහැති ඝන ද්‍රව්‍ය තරලයක් මුහුදේ පාවෙමින් ඇතැයි අඟුලාන ආශ්‍රිත ඈත මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් පිරිසක්, ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. ඒ පසුගිය 31 වැනිදායි. එම කලාපයෙන් අල්ලා ගත් මසුන්ද කොළ සහ කහ පැහැ ගැන්වී තිබූ බව, ධීවරයින් පෙන්වා දෙයි. එම දැනුම් දීමෙන් අනතුරුව නාරා ආයතනය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය. නාරා ආයතනයේ පරිසර අංශයේ ප්‍රධානී සහ ප්‍රධාන විද්‍යාඥ ශාමලී වීරසේකර මහත්මිය සදහන් කළේ, නැවිකියුලා නැමති ඩයටම ඇල්ගී විශේෂයක් එලෙස ව්‍යාප්තව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වූ බවයි. එය විෂ නිෂ්පාදනය කෙරෙන ඇල්ගී විශේෂයක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී නොමැති බව ද ඇය ප්‍රකාශ කළාය. එම තත්ත්වය, ඊයේ වන විට මුහුදු ප්‍රදේශ රැසකින් වාර්තා වී තිබේ. ශාමලී වීරසේකර මහත්මිය සඳහන් කළේ ගාල්ල, කළුතර, පයාගල, බේරුවල, හලාවත සහ මෝදර ප්‍රදේශ වලින් එම තත්ත්වය වාර්තා වූ බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළාය. මේ අතර පිරිපහදු නොකරන ලද අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම නතර කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, අදාළ ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.