ඊයේ වැඩිම වර්ෂාපතනය අගලවත්තෙන්

ඊයේ වැඩිම වර්ෂාපතනය අගලවත්තෙන්

by Staff writer 02-09-2020 | 7:32 PM

COLOMBO ( News 1st ) : ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයෙන් ය.

එම අගය මිලිමීටර් 344 ක් ය. වලල්ලාවිට ප්‍රදේශයෙන් මිලීමීටර් 290 ක වර්ෂාපතනයක් වාර්තා වුණි. ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ලට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 270 කි. අධික වර්ෂාවත් සමග ගාල්ල - වක්වැල්ල මාර්ගය , ගාල්ල - බද්දේගම හා ගාල්ල - මාපලගම මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, ගාල්ල, ඉමදූව, හබරාදුව , අක්මීමන ප්‍රදේශවල පහත්බිම් සහ වගාබිම් ජලයෙන් යට වූ බවයි. අස්වනු නෙළීමට ආසන්න වගා බිම් රැසක් ද ඒ අතර වේ. ඇඹිලිපිටිය, තෝරකොලයාය , මලබලාව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 15 කට හානි සිදුවුණි. ඊයේ පස්වරුවේ ඇති වූ තද සුළඟකින් පුත්තලම , නිර්මලපුර , කජුවත්ත ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදුව තිබුණි. නිවාස 4 කට පුර්ණ හානි සිදුව තිබේ. අධික වර්ෂාපතයත් සමග වේයන්ගොඩ ප්‍රදේශයේ නිවාස 6කට හානි සිදුවිය. මේ හේතුවෙන් 35 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන්ට පිසූ ආහර ලබාදීමට අත්තනගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කටයුතු යොදා තිබේ. මිනුවන්ගොඩ - අඹගහවත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර විය. මීගමුව, කට්ටුව, පුවක්වත්ත දෙපා ඇල අවහිරවීමෙන් නිවාස 20 ක් ජලයෙන් යටවූ බව අප වාර්තාකරුවන් සඳහන් කළේ ය. කහතුඩුව - දියගම මාර්ගයේ පහත්බිම්වල පිහිටි නිවාස 30 ක් පමණ අද ජලයෙන් යටවිය. අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේ ඇල මාර්ගයක් අවහිරවීම හේතුවෙන් පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි. මේ අතර, අධික වැසි සමග ඇති වූ තද සුළං හේතුවෙන් නිවාස 202 කට සහ කුඩා ව්‍යාපාරික ස්ථාන 40 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. එම මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රීකුණාමලය, මන්නාරම, බදුල්ල, වව්නියාව, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් එම හානි වාර්තා වන බවයි. වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්වලට එම අවදානම් නිවේදනය නිකුත් කර ඇති බවයි.