අමෙරිකානු සම්බාධක ගැන චීනයේ මතය..

තම සමාගම් 24කට අමෙරිකාව සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීතිය හා සම්මතයන් උල්ලංඝනය කිරීමක් - කොළඹ චීන තානාපති කාර්යාලය

by Staff writer 01-09-2020 | 9:40 PM

COLOMBO ( News 1st ) : අමෙරිකා එක්සත් ජනපදය තම සමාගම් 24 කට එරෙහිව සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීතිය හා සම්මතයන් උල්ලංඝනය කිරීමක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

කොළඹ වරාය නගරය ඉදිකිරීමට සම්බන්ධ CCCC සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළු චීන සමාගම් 24 කට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමට පසුගියදා තීරණය කළේ ය. මෙම සම්බාධක පැනවීමට ප්‍රධාන හේතුව වූයේ දකුණු චීන මුහුදේ, චීනය කෘත්‍රීම දූපතක් ඉදිකිරීමයි. CCCC සමාගම එහි ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි. අමෙරිකාව චෝදනා කරන්නේ මේ සමාගම ඇතුළු සම්බාධක පැනවූ චීන සමාගම් දකුණු චීන මුහුද හමුදාකරණය කිරීමට සහය වන බවයි. මෙම සම්බාධක පැනවීමට තමන් තදින්ම විරුද්ධ වන අතර එය වැරදි සහගත ක්‍රියාවක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. අමෙරිකාව වහාම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නවත්වන ලෙස ඉල්ලා සිටින බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත්වීමට එක්සත් ජනපදයේ ඒපාර්ශ්වික හා අයුක්ති සහගත සම්බාධකවලට ජාත්‍යන්තර නෛතික පදනමක් නොමැති බවද චීනය පවසයි. මේ අතර චීනයේ වෙළෙඳ ආධිපත්‍යය මැඩ පැවැත්වීමේ නව සැලසුමකට අවතීරණ වීමට ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව සූදානම් වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දු-පැසිෆික් කලාපයේ සැපයුම්දාමය මේ සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඇති ආකාරයට වැඩි දියුණු කිරීමේ වැඩ පිළිවෙළකට රටවල් තුනේ වෙළෙඳ අමාත්‍යවරුන් එකඟ වූ බවයි. මෙම වසර අගදී දියත් කිරීම සඳහා සැපයුම්දාම ශක්තිමත් කිරීම සඳහා වන පියවරට අදාළව කඩිනමින් තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරු තම නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ජපාන වෙළෙඳ අමාත්‍ය හිරෝෂි කජියාමා, ඕස්ට්‍රේලියා වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්හැම් සහ ඉන්දීය වෙළෙඳ අමාත්‍ය පී. ගොයාල් යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.