MTV සංගීත සම්මාන උළෙල වර්චුවල් තාක්ෂණය ඔස්සේ

ලේඩි ගාගා, අරියානා සහ බී.ටී.එස් කණ්ඩායමට MTV සංගීත සම්මාන උලෙලේදී වැඩි ගෞරව

by Staff writer 31-08-2020 | 2:03 PM

COLOMBO (News 1st) : මෙවර අමෙරිකාවේ MTV වීඩියෝ සංගීත සම්මාන උළෙල නිව්යෝර්ක් නුවරදී පැවැත්විය.

ඒ, සජීවීව වර්චුවල් තාක්ෂණය ඔස්සේ ය. වෙනත් වසරවලට වෙනස් අයුරින් පැවැත්වුණු මෙවර සම්මාන උළෙලට රසිකයන් බහුතරයකට සහභාගී වීමේ අවස්ථාව හිමිවූයේ නැහැ . ඒ , කොරෝනා ව්‍යාප්තිය මර්දනයට උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙනි. සංගීත උළෙලේදී BTS , CNCO , මයිලී සයිරස් , මලූමා , ඩෝජා කැට් , ද වීක්එන්ඩ් , ඇතුළු සුපිරි තරු රැසක් ගීත ඉදිරිපත් කළහ. සම්මාන හතර බැගින් දිනාගත් ලේඩි ගාගා, BTS සහ අරියානා ග්‍රාන්ඩේ යන ගායක ගායිකාවන් මෙවර සම්මාන උළෙලේ ප්‍රමුඛස්ථානය උසුලයි. වසරේ කලාකරුවාට හිමි සම්මානය ලේඩි ගාගා දිනාගත් අතර වසරේ හොඳම ගීතයට හිමි සම්මානය ලේඩි ගාගා සහ අරියානා ග්‍රාන්ඩේ එක්ව ගයන රේන් ඕවර් මී ගීතයට හිමිවිය. එහි හොඳම සංගීත වීඩියෝවට හිමි සම්මානය මෙන්ම හොඳම ආර් ඇන්ඩ් බී ගීතයට හිමි සම්මානය බ්ලයින්ඩින් ලයිට්ස් වෙනුවෙන් ද වීක්එන්ඩ් දිනා ගත්තේ ය . වසරේ හොඳම නව කලාකරුට හිමි සම්මානය ඩෝජා කැට් දිනා ගත්තේ ය. හොඳම පොප් ගීතය , හොඳම කොරියානු පොප් ගීතය , හොඳම නර්තන නිර්මාණය සහ හොඳම ගායක කණ්ඩායමට හිමි සම්මාන දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන BTS දිනා ගත්තේ ය. ඒ අනුව අමෙරිකාවේ MTV වීඩියෝ සංගීත සම්මාන උළෙලේදී හොඳම පොප් ගීතයට හිමි සම්මානය දිනාගත් ප්‍රථම ආසියානු ගායක කණ්ඩායම බවට BTS පත්විය. සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සෙසු කලාකරුවන් අතරට මයිලී සයිරස් ,  CNCO , දුවා ලීපා , බ්ලැක් පින්ක් , හර් , කෝල්ඩ්ප්ලේ , මෂීන් ගන් කෙලී , මලූමා, ටේලර් ස්විෆ්ට් යන කලාකරුවන්ද අයත් ය.