මහනුවර කම්පනය:ප්‍රදේශය සිතියම්ගත කිරීමට පියවර

මහනුවර කම්පනයට ලක්වූ ප්‍රදේශය සිතියම්ගත කිරීමට පියවර

by Staff writer 31-08-2020 | 7:28 AM

COLOMBO (News 1st) : කම්පන තත්ත්වයක් වාර්තා වූ මහනුවර, තලාතුඹය ආශ්‍රිත ප්‍රදේශය සිතියම් ගතකිරීම සඳහා භු කම්පන විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොමුකළ බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පැවසුවේ එරට හරහා කම්පනය සිදුවූ නාභිය සොයා ගැනීමට හැකිවනු ඇති බවයි. කම්පනය සිදුවූ ස්ථානය සොයා ගැනීම හරහා ඊට හේතුවූ කරුණු අනාවරණ කරගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාර නිල්මිණී තල්දෙන මහත්මිය සඳහන් කළේ, අඹකොටේ, දිගන, අනුරගම, හාරගම සහ මයිලපිටිය යන ප්‍රදේශවලට එම කම්පන තත්ත්වය දැනී ඇති බවයි. මහනුවර, හාරගම ප්‍රදේශයේ පෙරේදා රාත්‍රී 8.32 ට පමණ කිසියම් කම්පන තත්ත්වයක් සිදුව ඇති බවට භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන්ව තිබුණි.