ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති අවධාරණය කරයි

ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති අවධාරණය කරයි

by Staff writer 31-08-2020 | 7:48 PM
ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන ගත් තීරණ ස්ථීර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අවධාරණය කරයි. අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. කෙටි කාලීනව අපහසුතාවයට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති වරයා විසින් මෙහිදී ජීවන වියදම් අනුකාරක සභාවට ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ , දේශීය කර්මාන්ත හා ගොවි ජනතාව නගා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුලු පාරිබෝජන භාණ්ඩ වල මිල ඉහල ගොස් ඇති අතර , මිල පාලනයට හෝ පහත හෙලිමකට යටත්ව කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කලහොත් අපේක්ෂිත අරමුණු වලට ලගා විය නොහැකි බව ජනාධිපති වරයා අවධාරණය කල බවයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහල යාමෙන් නාගරික මාධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම පිළිබදවද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කර ඇත. සියයට 40 ක් වන ගොවි ජනතාවට ස්ථිර හා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නම් ඉහල මිලක් සහ ස්ථාවර වෙළදපලක් රට තුල පවතින බවට වන විශ්වාසය තහවුරු නොකර ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තය සදහා දිරිගැන්විය නොහැකි බව සදහන් කල ජනාධිපතිවරයා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාවන් පිළිබදවත් ජීවන වියදම් අනුකාරක සභාව දැනුවත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ විදේශ විනිමය අනුපාතය පාලනයට සහ ඉහල ණය බරින් මිදීමටත් ආනයන සීමා කළ යුතු බවයි.