අනුරුද්ධ සම්පායෝට ඇප

අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව්දෙනාට ඇප

by Staff writer 31-08-2020 | 4:21 PM
COLOMBO (News 1st): මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනා ඇප මත මුදාහැර තිබේ. සම්පායෝ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙනි. කූඨ ලේඛන සකස් කර බන්ධනාගාරගත රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු තහනම් භාණ්ඩ ලබා දීම සම්බන්ධයෙන් ද අනුරුද්ධ සම්පායෝ මහතාට චෝදනා එල්ල විය. Update: මිගමුව බන්ධනාගාරය තුළ සිදුවී ඇති විවිධ විෂමාචාර ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ද සම්පායෝ ඇතුලු සැකකරුවන් 04 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය අද පස්වරුවේ නියෝග කර තිබේ. එම සැකකරුවන් 4 දෙනාට විදේශ ගතවීම වලක්වමින් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප ලබාගැනිමෙන් අනතුරුව සෑම මසකම පළවෙනි හා තුන්වන ඉරිදා දින වල පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසටද නියෝග කරනු ලැබීය. ඇප ලබාගැනිමෙන් අනතුරුව පැමිනිල්ලේ සාක්ෂි කරුවන්ට හෝ විමර්ෂණ නිළධාරින්ට බාධා නොකරන ලෙසටද සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ලබන 04 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබේ. එම නඩුව අද දින කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මහතා කරුනු දක්වමින් අනුරුද්ද සම්පායෝ නැමැත්තාව අත්අඩංගුවට ගත් බවට මිගමුව මුලස්ථාන පරික්ෂකවරයා සටහන් යොදා ඇතැත් එය අත්අඩංගුවට ගැනිමක් නොව දෙපාර්ශවය විසින් ඇති කරගත් එකඟතාවයක් අනුව දියත් කළ රංගනයක් පමණක් බව අධිකරණය හමුවේ දී පෙන්වා දී ඇත. ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි කියන කුරුණෑගල විද්‍යාලය අසල සවි කර තිබූ සීසීටීවී දර්ශන වලින් ලබාගත් ඡායාරූප හා දර්ශන අනුව ඒ බව මනාව පැහැදිලි වන්නේ යැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එකී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සටහන් යෙදූ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගැනීම සඳහා ඉදිරි දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බවද එහිදී ප්‍රකාශ කර තිබේ. එම නඩුවේ පස්වන සැකකරු ලෙස මීගමුව බන්ධනාගාරයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කරන විද්ද්‍යායානන්ද vidyananda සමරවික්‍රම නැමැත්තාව නම් කරන බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමර්ශන සිදුකරන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික චන්ද්‍රසේකර මහතා මගින් අධිකරණයේ අවසරය ඇතිව සාක්ෂි මෙහෙයවා වරෙන්තු ඉල්ලා සිටියේය. පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වරෙන්තුව පිලිබදව නියෝගය ලබන 04 වැනිදා⁣ නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දෙනු ලැබිය.