අමෙරිකාවේ සම්බාධක චීන තානාපති කාර්යාලයේ විවේචනයට

කොළඹ වරාය නගරය ඉදි කරන ආයතනය ඇතුළු සමාගම් 24කට පනවා ඇති සම්බාධක කොළඹ චීන තානාපති කාර්යාලයේ විවේචනයට

by Staff writer 30-08-2020 | 8:40 PM

 COLOMBO (News 1st) : කොළඹ වරාය නගරය ඉදිකිරීමට සම්බන්ධ ආයතනය ඇතුළු චීන සමාගම් 24 කට අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක කොළඹ චීන තානාපති කාර්යාලය විවේචනය කර තිබේ.

අමෙරිකාව මෙම සම්බාධක පනවා ඇත්තේ, එරට රජයේ බලපත්‍රයක් නොමැතිව අදාළ චීන සමාගම් 24 වෙත නිෂ්පාදන අපනයනය කිරීම නීති විරෝධී බව පවසමින් ය. දකුණු චීන මුහුදේ කෘත්‍රිම දූපත් ඉදිකිරීම්වලට සම්බන්ධ චීන සමාගමකට සම්බාධක පැනවූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් ය. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සිදු කරන චයිනා හාබර් සමාගමේ මව් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම සම්බාධක පැනවූ ආයතන අතර වේ. චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම මීට පෙර හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා සම්බන්ධවී සිටියේ ය. අමෙරිකාව විසින් සම්බාධක පැනවූ ආයතන අතර ඇති තවත් සමාගමක් වන්නේ ෂැංහායි ෂින්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමයි. මෑතකදී අදාළ ආයතනය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දොඹකර සැපයීම සිදු කළේ ය. චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලූඕ හොං අමෙරිකාවේ මෙම තීරණ සමබන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. එහි දැක්වෙන්නේ මෙවැනි අයුක්ති සහගත සම්බාධක පැනවීම හරහා චීනයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සහයෝගීතාවයට බලපෑම් එල්ල වනු ඇති බවයි. දකුණු චීන මුහුදේ ඉදිකිරීම්වලට සම්බන්ධ සමාගම් මෙහිදී ඉලක්ක කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි. චීන තානාපති කාර්යාලයේ නිලධාරියාට අනුව චීනය අමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ තම වැරදි නිවැරදි කර වහාම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නතර කරන ලෙසය. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ දිනවල නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා කරමින් සිටී. පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවූ තානාපති හූ වෙයි මහතා කොවිඩ් මර්ධනයට ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙත චීන රජයේ පැසසුමට ලක් වන බව දැනුම් දී තිබුණි. ඔහු අමාත්‍යවරියට දන්වා ඇත්තේ නව රජයේ සියලු වැඩපිළිවෙළට සහයෝගය ලබා දීමට චීනය කටයුතු කරන බවයි. මේ අතර තානාපතිවරයා පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සමග ද සාකච්ඡා කළේ ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාවට නැංවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහා චීන රජයට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.