අවුරුදු 19ත් 25ත් අතර දරුවන් අතර HIV ආසාදනය ඉහළට

අවුරුදු 19ත් 25ත් අතර පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම ඉහළට

by Staff writer 30-08-2020 | 11:36 AM
COLOMBO (News 1st): මෙරට අවුරුදු 19 ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ දිවයින පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායනවලින් සිදුකරන ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ දත්ත අනුව එය අනාවරණ වූ බවය. මෙම කණගාටුදායක තත්ත්වය මෑතක සිට ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය පැවසුවාය. විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට මෙරට තුළ සිටිය යුතු HIV ආසාදිතයින් සංඛ්‍යාව 3600 කි. එසේ වුවත් සායනවල දැනට ලියාපදිංචි වී සිටින්නේ පුද්ගලයින් 2000ක් පමණක් බව ද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. ඉතිරි පුද්ගලයින් 1600ක ප්‍රමාණය තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවත් ඔවුන් නිසා නීරෝගී පුද්ගලයින් ද ආසාදනය විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දුන්නාය. මේ තත්ත්වය හමුවේ තම ආයතනයේ සායන වෙත පැමිණ පුද්ගලිකත්වය සුරැකෙන ලෙස රුධිර පරීක්ෂාවන් නොමිලේම සිදුකර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නීය.