රැම්සා තෙත්බිම් අභය භූමියට හානි කළේ කවුද?

හානියට පත් ආනවිලුන්දාව අභය භූමියේ කොටස යථා තත්ත්වයට පත් කිරීමේ සූදානමක්..

by Staff writer 29-08-2020 | 10:26 AM

COLOMBO (News 1st) : හානියට පත්කර ඇති ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ කොටස යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් ඇතැයි වනජීවි අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් යටතේ එම හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවය. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය 25 වැනිදා රාත්‍රියේ තම නිලධාරීන් නොමැති අවස්ථාවක මැෂින් හා වෙනත් උපකරණ යොදා ගනිමින් තෙත් බිම එළි පෙහෙළි කර ඇති බවයි. වන සංරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ ඇති මෙම තෙත් බිමේ මුතු පන්තිය ප්‍රදේශයේ අක්කරයක පමණ ප්‍රදේශයක් මුළුමනින්ම ඩොසර් වන්නේ අදාළ භූමි ප්‍රදේශයේ කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ මූලික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ  පසුබිමකදීය. මෙම සංවේදී පරිසර පද්ධතිය ඩොසර් කර තිබෙන්නේ ඉස්සන් වගා කිරීම සඳහා පොකුණක් සකස් කිරීමට බව අනාවරණය කරගෙන තිබුණත් , එය කළේ කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. තෙත්බිමේ හෙක්ටයාරකට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.