ජයසිංහ සේවයේ පිහිටුවීමට ගැටලුවක් නැහැ- කොමිසම

ස්විස් කුමාර්ට රැකවණ දුන්නැයි චෝදනා ලැබූ ලලිත් ජයසිංහ යළි පොලිස් සේවයේ පිහිටුවීමට ඇති බාධාව කුමක්ද? - ජනපති කොමිසම

by Staff writer 28-08-2020 | 10:40 PM
COLOMBO (News 1st) : වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීමේ ගැටලුවක් නැතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අද ප්‍රකාශ කළේ ය. කොමිසම නීතිපතිවරයාට දැනුම්දුන්නේ මේ පිළිබඳව ස්ථාවරය ලබන සඳුදා දැනුම්දෙන ලෙසයි. යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවෙකුවූ මහාලිංගම් ශසීකුමාර් හෙවත් ස්විස්කුමාර් නමැත්තාට පලායාමට ආධාර අනුබලදීමේ චෝදනා මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඇප මත මුදාහැර සිටින ඔහු මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටී. ඔහු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිලි කරමින් කියා සිටියේ දේශපාලනිකව පළිගැනීමේ අරමුණින් තමන්ට මෙම චෝදනා එල්ලකර ඇති බවයි. අද කොමිසම හමුවේ පෙනී සිටි ජයසිංහ මහත තමා යළි සේවයේ පිහිටුවන අතුරු නියෝගයක් ජාතික පොලිස් කොමිෂන් සභාවට නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළේ ය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා පැවසුවේ , සිය සේවාදායකයාට රාජකාරි කාලය අවසන් කිරීමට ඉතිරිව ඇත්තේ තවත් මාස 11 ක පමණ කාලයක් බවයි. මෙම ඉල්ලීම පිළිබඳව කොමිසමේ ස්ථාවරය ලබන 31 වනදා දන්වන බව එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ ය. මේ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය විමසූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා පැවසුවේ මේ පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බවයි. වැලිකඩ බන්ධානාගාරයේ සිදුවූ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නියෝමාල් රංගජීව නමැති පොලිස් පරීක්ෂකවරයා යළි සේවයේ පිහිටුවීමට හැකිනම් ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා සම්බන්ධයෙන් එවැනි පියවරක් ගැනීමට ඇති බාධාව කුමක්දැයි සභාපතිවරයා එහිදී විමසී ය. මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ලබන 31 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරිණ. ඒ , පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී කේ කේ.කේ. ගුණසේකර මහතා මීට පෙර කොමිසම හමුවේ කළ කළ කරුණු දැක්වීමට අදාළවයි. දේශපාලන බලපෑම් මත මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කටයුතු කළැයි ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට පසුගිය සමයේ එල්ලකර තිබූ චෝදනාවට අදාළව ගුණසේකර මහතා කොමිසට හමුවේ සාක්ෂි දුන්නේ ය.