හෙරොයින් සමග සැකකරුවෙකු ඔරුගොඩවත්තේදී කොටු

හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් සමග සැකකරුවෙකු ඔරුගොඩවත්තේදී කොටු

by Staff writer 27-08-2020 | 1:58 PM

COLOMBO (News 1st)  : රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්රෑම් තුනක් මෝටර් රථයකින් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද පෙරවරුවේ කළ වැටලීමකදීයී. සැකකරු සන්තකයේ තිබී රුපියල් හය ලක්ෂ එකොළොස් දහසකට අධික මුදලක් ද සොයාගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු වන කෙසෙල්වත්තේ ක්‍රිෂාන්ත හෙවත් චතුර සුජීව නමැති අයෙකි. ඔහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වුවත්, ඇවරියවත්ත, වත්තල ප්‍රදේශයේද දිවි ගෙවා තිබේ. මොහු පිළිබඳ විමර්ශනයේදී කඩවත සුරියපාලුව ප්‍රදේශයේ සුවිසල් නිවසක්ද , සොයාගෙන ගැනීමට පොලිසිය සමත් විය. සැකකරු පදවන ලද මෝටර් රථයද ඔහු උගසට ලබාගත් එකක් බව විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ATM කාඩ්පත් දෙකක් සහ චෙක්පොත් දෙකක් සොයා ගැනිණ. මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා මොහු රුපියල් ලක්ෂ ගණනින් චෙක්පත් නිකුත් කර ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු යොදා ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පාතාල කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නවගමුව පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ හෙරොයින් ග්‍රෑම් 10 ක් සමගයි. මොහු පාතාල කල්ලි නායකයෙකු වු සමයංගේ සහායකයෙකු බව පොලිසිය සඳහන් කළේ ය.