''අලි-මිනිස් ගැටුමට ස්ථිර  විසඳුමක් දෙන්න''

අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 27-08-2020 | 8:13 PM
COLOMBO (News 1st) : අලි - මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථිර විසදුමක් දෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් උපදෙස් දී තිබේ. ජනාධිපතිතුමා සඳහන් කළේ, වනඅලි ගම්වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කළයුතු බවයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වනඅලි ගම් වැදීමේ ගැටලුව වසර 40 කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වී ඇති බව ද ,විවිධ විසඳුම් ක්‍රියාත්මක කළද ගැටලුව විසඳී නොමැති බවත්, අලියා හා මිනිසා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථිර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යයක් බව ජනාධිපතිතුමා ද අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වනජිවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිලිවෙල හා කැළැ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. 2019 වසරේදී වනඅලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122 ක් අහිමි වී ඇති අතර වනඅලි 407 දෙනෙකු මියගොස් තිබේ. මේ වසරේ ගත වු මාස 8 තුළ අහිමි වී ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව 62 කි. එම කාලය තුළ මියගිය වනඅලි සංඛ්‍යාව 200 කි. වගා කටයුතුවලට, දෛනික ජිවිතයට මෙන්ම වනඅලි ගහනයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/600035557350621/