දිල්රුක්ෂි ඩයස්ගෙන්  මූලික විරෝධතාවක්

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විරෝධතාවක්

by Staff writer 27-08-2020 | 7:07 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලකට අනුව තමා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව,  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෝසමක් මගින් අද සිය මූලික විරෝධතා ගොනු කළේ ය. 2006 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වෙළඳ හා ආයෝජන සමුළුවකට සහභාගීවීමට තමා එහි ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පවුම් 5600 ක් දින 3කදී වැය කළ බවට අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් තමා දේශපාලනික පලිගැනීමකට ලක්වූ බව පවසමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නේ , පැමිණිල්ලට අදාළව සිය සේවාදායිකාව වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීම මෙන්ම , පැමිණිල්ල කර ඇති රෝහිත බෝගොල්ලාගම ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවකයෙකු නොවන  බැවින් , අදාළ පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට නෛතික හැකියාවක් නොමැති බවයි. පැමිණිල්ලේ සඳහන් කර ඇති සිදුවීම 2006 වසරේ දී සිදුවූවක් බැවින් , එය කොමිසම විභාග කරන පැමිණිලිවල කාලපරාසයට අයත් නොවන බව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෝසම මගින් කොමිසමට දැනුම් දුන්නා ය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ , කොමිසමේ  වලංගු  පත්‍රයට අනුව රෝහිත බෝගොල්ලාගම මහතාගේ පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට නෛතික හැකියාවක් කොමිසමට නොමැති බවයි . ඕනෑම පුද්ගලයෙකුට කොමිසමට පැමිණිලි  කළ හැකි බව කරුණු සලකා බලමින් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි  අබේරත්න මහතා සඳහන් කළේ ය. සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වගඋත්තරකර පාර්ශවය ඉදිරිපත් කළ මෝසමට අනුව පැමිණිල්ලේ කාල පරාසය පිළිබඳ යළි සලකා බලන බවයි. ඒ සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය ලබන 11 වන දා දැනුම්දෙන බව උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.