පොල්,කිතුල්,තල්,රබර් ආශ්‍රීතකර්මාන්ත කෙරෙහි අවධානය

පොල්, කිතුල් ,තල් හා රබර් ආශ්‍රීත කර්මාන්ත ප්‍රවර්ධනට අවධානය

by Staff writer 26-08-2020 | 10:27 AM

COLOMBO (News 1st) -කිතුල් හා තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක්කර, විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කිරිමේ හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

පොල්, කිතුල් ,තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රීත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ, තල් හා කිතුල් වගා ප්‍රවර්ධනයට ඇති බාධා ඉවත් කර, නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගන්වන බවයි. කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද, ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ. කෙටි කාලයකදී ලගා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි ද, ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, උතුරු නැගෙනහිර ඇතුළුව හඳුනා ගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ආරම්භ කරන ලෙසයි. රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 2000ක් දක්වා වර්ධනය කිරීමටත්, බෑවුම් ප්‍රදේශ වල ෆයිනස් වගාව වෙනුවට රබර් වගා කිරීමටත්, ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ. මීට අමතරව නායයෑමට ලක් වූ ප්‍රදේශ වල කිතුල් වගාව ප්‍රවර්ධනයට ද නියමිතය. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබූ පුරන් කුඹුරු වගාවට යොදා ගන්නා ලෙස ද, මෙහිදී උපදෙස් දී තිබේ. පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරිම කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාද්‍ය අංශය සඳහන් කළේය.