දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්

ත්‍රිත්ව ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්

by Staff writer 26-08-2020 | 5:58 PM
COLOMBO (News 1st): දිනේෂ් චන්දිමාල් මෙරට දේශීය ක්‍රිකට් තරගයක පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට අද සමත් විය. ඒ, අන්තර් සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේ, සැරසන්ස් ක්‍රීඩා සමාජය සමග පැවැත්වෙන තරගයේදී නොදැවී ලකුණු 354 ක් රැස් කරමිනි. තරගය කටුනායකදී පැවැත්වේ. තරගය අද දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යුද හමුදා ක්‍රීඩකයින් කඩුලු 5 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 344කි. යුද හමුදා ඉනිම ශක්තිමත් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 354 රැස් කළේය. ඊට හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත්ය. තරගයෙන් පසු අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල්
''මම ගොඩක් මහන්සි වුණා. මේ ලකුණු ලබා ගන්න. සියලු දෙයක්ම මහන්සියේ ප්‍රතිඵලයක් හින්දා හම්බවුණ දෙයක් ඉතින් ගොඩක් සන්තෝසයි. ඊළඟ සීසන් එක එනවා තම මාස 2 ක් වගේ කාලයකින් ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නවා හම්බවෙන ක්‍රීඩා තරග පුළුවන් තරම් උපරිමයෙන් දායකත්වය යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න''
පළමු පෙළ ක්‍රිකට් තරගයකදී හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු 374 වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ. කිත්රුවන් විතානගේ ද මීට පෙර දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගකදී ටැමිල් යූනියින් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 351 ක් ලබා ගෙන තිබුණි.