කමිටු වාර්තාව:විදුලිය බිඳවැටීමට හේතුව හෙළිවෙයි..

රටපුරා විදුලිය බිඳවැටීමට හේතුව සේවක අත්වැරදීමක් - කමිටු වාර්තාව

by Staff writer 26-08-2020 | 7:31 AM

COLOMBO (News 1st) - දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමට හේතුව කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ සේවකයෙකුගේ අත්වැරදීමක් බව තහවුරු වී තිබේ.

ඒ බව තහවුරු වී තිබෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව කළ විමර්ශනවලදීය. විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, ග්‍රීඩ් උප පොළේ ඇතිවූ බිඳ වැටීම නොරොච්චොලේ බලාගාරයට බලපා ඇති බවයි. ඒ හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටීම හමුවේ, මෙම තත්ත්වය ඇතිවූ බව විමර්ශන කමිටුව හෙළි කරගෙන ඇතැයි, එම නිලධාරියා අනාවරණ කළේය. කෙසේ වෙතත් යළි එවැනි සිද්ධියක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ද, අදාළ වාර්තාවේ සඳහන් බව, අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියා පෙන්වා දෙයි. මේ අතර, දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය. විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එම වාර්තාව පෙරේදා විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට භාර දුන් බවයි. පසුගිය 17 වැනිදා සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධියට බලපා ඇති හේතු සාධක සම්බන්ධයෙන් සියලු කරුණු විමසා බැලීමෙන් පසු මෙම වාර්තාව සකස් කර තිබේ. එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතායි. කමිටුවට නියෝජිතයින් 9 දෙනෙකු ඇතුළත් වේ. මෙම කමිටුව පත් කෙරුණේ, විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට සහ නැවත එවැනි තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාවය අවම කිරීම අරමුණු කර ගනිමිනි.