නගරාධිපති අත්අඩංගුවට ගැනීම වළකා තහනම් නියෝගයක්

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

by Staff writer 25-08-2020 | 10:19 AM

COLOMBO ( News 1st ) : කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 07 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචණාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් හා සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම්කරුවන් ගොනු කර ඇති පෙත්සම් පහ විභාගයට ගෙන අවසන් තීන්දුවක් දෙන තුරු එම අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බවයි. කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ඉදිරිපත් කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ඇතුළු පිරිසට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා නොතීසි නිකුත් කරනු ලැබිණි. තම නියෝගය කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමීමේ, සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා බාධාවක් නොවන බවත් පෙත්සම්කාර සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා සහය ලබාදිය යුතු බවත් සිය නියෝගය මඟින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල අද හෝ හෙට සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද නියෝග කළේය. විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම එදින සිදුනොකරන ලෙසය. මෙම නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දැනුම් දුන් අතර, ඉදිරි නඩු දිනයේ දී එම විරෝධතා ගොනු කරන ලෙසට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.