මංගල, මලික්, සුමන්දිරන් ජනපති කොමිසමට

මංගල, මලික්, සුමන්දිරන් දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවට

by Staff writer 21-08-2020 | 10:30 AM

COLOMBO (News 1st) -මලික් සමරවික්‍රම, එම්.ඒ.සුමන්දිරන් හා මංගල සමරවීර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අද පැමිණියේය.

ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. මලික් සමරවික්‍රම, එම් ඒ සුමන්දිරන් හා මංගල සමරවීර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ අද පෙරවරුවේදීයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද අද කොමිසමට පැමිණෙන්නැයි නොතීසි නිකුත් කර තිබේ. ඊට අමතරව පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, අනුර කුමාර දිසානායක,නීතීඥ ජේ .සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන්ටද අද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි පසුගිය 12 වැනිදා නොතීසි නිකුත් කෙරුණි. දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ දී ස්වෙච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි හා පාරිතෝෂික දීමනා ලබාදී ඇති බවටත්, ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහන ලබාදීමේ සිද්ධි වලට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලනිකව සිදු වූ බවටත් සඳහන් කරමින්, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම පැමිණිල්ල ගොනු කර තිබේ.